හරිත බිම් සොයා
- Raksh
- Jan 16, 2018
- 9 min read
Updated: Apr 4, 2018
"මොනවද බං මේ සින්දු? "
අධිවේගී මාර්ගය හරහා දිවෙන කොළඹ-දෙනියාය අධි සුඛෝපභෝගී බසයේ අසුනකට බරවී සිටින මාගේ ජංගම දුරකථන තිරය ආලෝකමත් වූයේ සංජය අයියාගෙන් ලැබුණු කෙටි පණිවිඩයෙන්..
ගමනාරම්භයේ සිටම ටකර ටකර ඩිස්ටි ඩිඩං සංගීතයෙන් ඇරඹි "ගීත" අපේ දෙසවන් විඩාබර කර තිබුණා. "ඔයා ආයෙත් එන්න බාරගන්නම්.. මගේ සුදු මැණිකේ.. මංගල යහනට යන යෙහෙලියේ...,විළිබරයි හිත මගේ " සිරාවට මොනාද බං මේ සින්දු..
අධිවේගී මාර්ගයේ ගාල්ල අන්තර්පිවිසුමෙන් පිට්වෙද්දි වෙලාව හවස 5ට කිට්ටුයි.. අපේ ගමනාන්තය වුණේ දෙනියාය.... කොටුවෙ ටෙක්නිකල් හන්දියෙ ඉදන්ම "අඩෝ චූ බරයි බං" කියපු මගේ ගමන් සගයා ජූඩ්, එහා පැත්තෙ අසුනේ.. හීන ලෝකෙදි හරි වැසිකිලියක් දකින්න කියලා මිනිහා වීදුරුවට හේත්තු වෙලා නිදි...
ඉතින් අපි මේ යන්නේ සිංහරාජෙට.
ආ...වැකේෂන් නේහ්.ආතල් එකට!
නෑ එහෙම දේකට නෙවෙයි. මායි ජූඩයි මේ යන්නේ රිසර්ච් ඇසිස්ටන්ට්ලා විදියට. ආ......රිසර්ච් එහෙකට!
ඔව් ඔව්.. සංජය අයියගේ රිසර්ච් එක. ඔය ඉන්නේ පිටිපස්සෙම සීට් එකේ.
කොහොමින් කොහොමින් හරි අධිවේගී මාර්ගෙන් පිටවෙලා කිලොමීටර් 20ක් විතර අපි ඇවිත් මේ වෙද්දි. බස් රථයේ කලුවර කරපු වීදුරු අතරින් ඉර එලිය බාගයක් විතර කපා දාපු නිසා වටපිටාවට වැඩිපුරත් එක්ක කලුවරක් ආරූඪ වෙලා... වංගු වලින් පිරුණු ගම්බද පාරක් දිගේ තමයි අපි ගමන් ගත්තේ.. ඉඳහිට ජනාකීර්ණ නගර හමුවුණත් ගමනේ මේ කොටස වැඩි හරියක්ම ගෙවුණේ ගැමි සුන්දරත්වය මැද්දෙ.. ඈත කඳු පන්ති මැද්දෙන් මීදුම බාන හැටි පෙනුණෙ යන්තමට වුණත් මාස හයක් පොත් අස්සේ වෙහෙසුණු අපේ ඇස්වලට ඒකත් එක්තරා සැනසිල්ලක්.
එකපාරටම බස් සිංදු නැවතුණා! බස් එකම අඳුරු වුණා..මෙතෙක් වෙලා ලාවට වගේ ඇහුණු බස් එකේ ඉඳපු පොඩි එකෙක්ගෙ ඇඬිල්ල මේන් ඇහෙනව කන පුරෝලා..
"පියුස් එකක් ගියා!" කවුරු හරි කිවුවා..
ඔය කලබල අස්සේ අපි දෙනියාය ප්‍රධාන බස් නැවතුම්පොළට සේන්දු වෙද්දි හවස 6:45යි.
දවස් ගාණකට ඇඳුම්,කෑම බීම එක්ක තවත් ලට්ට ලොට්ට පිරිච්ච අපේ ගම්න් මළු තුනට අමතරව කූඩාරමක්, අතේ ගෙනියන්න පුළුවන් තනි ලිපේ ගෑස් කුකර් එකක්, මිස්ට් නෙට් පෝල්ස් හා සංජය අයියගේ වටිනාම වස්තුව වෙච්ච රිසර්ච් බඩු තිබ්බ පෙට්ටිය බස් එකෙන් බාගන්න සෙනඟ ඔක්කොම බහිනකම් ඉන්න අපිට සිද්දවුණා.. බඩු ටික බාල බලද්දි ලොරි බාගෙක බඩු!
දවල් 2ට කොළඹින් පිටත් වුණු බස් එක එක හුස්මට ආවා මිසක් තේ කඩයක් ළඟ නවත්තපු නැතිකමේ ආනිසංස දැනෙන්න අරන් ගොඩක් වෙලා.. දෙනියායෙන් බැහැපු අපේ පළවෙනි අවශ්‍යතාවය වුනේ බඩට යමක් දා ගැනීමයි.. බඩට කළින් යටිබඩ බේරාගැනීමට තැනක් සොයාගිය ජූඩ් එනතුරු මද වේලාවක් රැඳෙන්න අපට සිදුවුණා. " හරිද බං? අම්මේ හරි!"
"යමන් එහෙනම්.. ඉන්න බෑ යකෝ"
මුලින්ම ගිය තේ කඩයෙන් අප ගිය පයින්ම හැරී ආවේ කඩය තුල වූ මොකක්දෝ අමුතු ගන්ධයක් නිසාවෙන්. හවස ඉඳන් වැස්සකට පෙරුම් පුරපු අහස අන්තිමේ ජය අරගෙනද කොහෙදෝ හීනියට පොදයක් පටන් ගත්තේ ඒ වෙලේ.
අන්තිමේ පාරේ එහා පැත්තේ තිබ්බ දුප්පත් පාට තේ කඩෙකට අපි ගොඩවුණා.. "ජයන්ති හෝටලය" මට මතක විදියට ඒක තමා නම..
මොනවද නැන්දේ තියෙන්නේ.. සෝටීස් තමා මහත්තයෝ..
දවාලියෙන් හදපු එළවළු රොටියක්, රෝල් එකක් එක්ක ප්ලේන් ටී එකකින් බඩ තෙමාගෙන අපි ආයෙත් මහපාරට ආවා.
රෑට නවතින්න ලෑස්ති කරලා තිබ්බේ අයියගේ යාලුවෙක්ගේ ගෙදරක්. ටවුමෙන් ටිකක් එහා.. ආඬාරදෙණිය්. ඒ ගමට රෑට තියෙන බස් එක යන්නේ මගකට විතරයිලු.
පොද වැස්ස ටිකක් තද කරලා.. හැරි හැරී ඉන්න කාලයක් නොතිබ්බ නිසා අපි තුන් රෝද රියක් සහයට ගත්තා. ගෙදරට ගොඩවෙද්දි හොඳටම වැස්ස..
ගෙදරට ගොඩවුණු වෙලේ ඉඳන් ආගන්තුක සත්කාර අඩුවක් නැතුව විඳපු අපි අඟල් බාගේ පයිප්පෙකින් එන සීතල වතුරෙන් මහන්සිය සෝදා හැරලා රෑ කෑම මේසෙට වාඩිවුණා.
මොනා ගැනද පුතා සමීක්ෂණේ? ගෙදර මාමට ප්‍රශ්ණයක්.
" අපි හොයන්නේ කවුඩො ගැන මාමේ" පිළිතුරු අයියගෙන්.
"ආ.... කවුඩො ගැන ..මං ගාවත් පොතක් තිබ්බ කුරුල්ලො ගැන නම්.." මාමටත් වැඩේ අල්ලලා ගිහින් වගේ!
රෑ කෑමත් සප්පායම් වෙලා කතා බහ කරලා නිදගන්න ලෑඅති වෙනකොට 12ට කිට්ටුයි.
" හෙට කීයටද පුතේ යන්නේ?"
" උදෙන් යනව නැන්දේ 6:30ට විතර"
"එතකොට ගිහින් කැම?"
"උයාගන්නව නැන්දේ"
අනේ!!
"පුතේ බල්ලා සෙරෙප්පු කනව,නිදාගන්න කලින් ගෙයින් තියාගත්තොත් හොඳයි.." නැන්දා ආයෙත් කටහඬ අවදි කලා.
හුටා! එකක් නෑ..!!
අපේ එක සෙරෙප්පුවක් අතුරුදහන්. මධ්‍යම රාත්‍රී මෙහෙයුමක්!
ලෑලි ගොඩවල් අස්සේ පඳුරු අස්සේ විදුලි පන්දම් එලි ගැවසුණා.. නමුත් සෙරෙප්පුව නෙවෙයි හම්බුණේ..
"එලිය වැටුණමවත් බලමු .. මල්ලි එලාම් තියපන් 5:30ට"
ආඬාරදෙනිය පිහිටලා තියෙන්නේ සිංහරාජෙට අල්ලපු වැටේ නොවුණට වැසි වනාන්තර ලක්ෂණ නම් ඒ වටපිටාවෙ අඩුවක් තිබ්බේ නැතිතරම්.
එලාම් එකට කලින් මං ඇහැරුණේ මොණරෙක්ගේ සද්දෙට.
බොහෝ මෑතක් වෙනකම් මොණරා ගැවසුණේ වියලි කලාපෙ විතරයි.නමුත් අද වෙද්දි තෙත් කලාපෙත් ආක්‍රමණය කරන්න කතරගම දෙවියන්ගේ දිව්‍ය රථයට හැකිවෙලා..
ගොවීන්ට නම් මොනරා කියන්නේ හිසරදයක් බව කවුරුත් දන්නවා..
" මේලෝකෙ දෙයක් තියෙන්න දෙන්නේ නෑ මහත්තයෝ.. මලේ ඉඳන් කනවා"
මෙහෙම උත්තරයක් ලැබෙයි ඔබ ඇහුවොත් ගොවියෙක්ගෙන්..
ගෙදර වටේම පිහිටලා තියෙන තේ වතු මීදුමෙන් වටවෙලා.. දෙසැම්බර් මාසේ කලින් ඉර පායන හින්දා උදේ 6 වෙනකොට ගස් වල අතු කොල අතරින් රන් පාට ඉර එලිය පොළොව හොයාගෙන එනවා.. එත් තාම සීතල නම් අඩුවක් නෑ..සීතල යන්තම්වත් අඩු වුනේ උදේ තේ එකට පිං සිද්දවෙන්න.
දකුණු පලාත් කිව්වම කාටත් මතක් වෙන්නේ එක්කො ගාළු කොටුව, වෙරළබඩ රේල්පාර නැත්නම් හම්බන්තොට සමහරවිට නාටු වෙච්ච පොල් ගස් වුණත් වෙන්න පුළුවන්..
එත් ඒ දකුණු පලාතේ මායිමක මෙහෙම දෙයක්?
පරිසරයේ සුන්දරත්වය පොඩ්ඩක් පැත්තකින් තියලා හනි හනික ලෑස්ති වෙන්න ගත්තා..
පිටත් වෙනවා කිව්ව වෙලාවේ කෑලිත් නෑ..
උදේට කාල ඉවරවෙනකොටම නැන්දා දවල්ට කන්න බත් 3ක් ලෑස්ති කරලත් ඉවරයි..
"ආං පුතාගේ සෙරෙප්පුව තිබ්බා. පොඩ්ඩයි කාලා තියෙන්නේ"
පිටත් වෙන්න නියම කරගත් වෙලාවට පැයක් පහුවෙලා පිටත්වුණු අපිට දෙනියාය බස් නැවතුම්පොළට යන්න ප්‍රවාහන පහසුකම් ලබා දෙන්නත් නිවැසියන් අමතක කලේ නැහැ.
තේ වතු මැද්දෙන් වැටුණු එක වාහන දෙකකට එකවර මාරුවිය නොහැකි තරම් පටු මාර්ගයක් ඔස්සේ අපි ගමන් කලා.. පෙරදින රාත්‍රියේද ගමන් කළේ මේ මාර්ගයේම වුණත් මේ දුෂ්කර නමුත් සුන්දර වටපිටාව හරිහැටි දැකගන්නට හැකි වූයේ අප නගරය කරා පල්ලම් බසින විටයි..
එක්වරම අප ඉදිරියෙන් පාර හරහා දිවගියේ ප්‍රමාණයෙන් මුවෙකුට වඩා කුඩා නමුත් පැහැයෙන් අඳුරු මුවෙකුට අතිශයින් සමාන සතෙකි.
"ඕලුවෙක්" ඒ රිය පදවන්නාගේ හඬයි.
"ඕලු මුවෙක්ද?" අපෙන් ප්‍රශ්ණයක්.
"ඔව් එහෙමත් කියනව"
බොහෝමයක් දුරක ඉඳන් විහිදෙන දෙනියාය නගර සීමාව උදේ ඉඳන් කඩිසර බවකින් පිරිලා.බස් නැවතුම්පොළ නවීන පන්නයේ නොවුණත්ලංකාවේ බොහෝමයක් පළාත් වලට දිවෙන බස් රථ ඔබට දකින්න ලැබේවි.
දෙනියායෙන් බැසගත් අපේ මීළඟ අරමුණ වූයේ දියදාව වන සංරක්ෂණ කාර්යාලයට යාමටයි..
කාර්යාලයට ළඟාවී එහි අඩවි නිලදාරියාට අප ආ කාරණය පැහැදිලි කලා. ඔහුගේ පැනය වුනේ,
" දැන් කොහොමද යන්නේ පිටදෙනියට?"
"බස් එකේ තමයි සර්"
"බස් වල යන්නෙ කොහොමද ඔය ඔක්කොම අරන්?
මෙහේ වාහනේ තියෙනවා ඒකෙන් යමු. "
රජයේ කාර්යාලයකින් මෙහෙම සැලකිල්ලක්?
අත්සනක් වෙනුවෙන් දින ගාණක් රාතියාදු කරවන සමහර රජයේ කාර්යාල එක්ක බලද්දි මෙහෙම දෙයක්?
" මේ සම්පත් තියෙන්නේ ඔය වගේ දේවල් වලට ප්‍රයෝජනේ ගන්න තමයි. අපි කරන්නෙත් නැති එකේ ඔය ළමයි හරි ඔය දේවල් කරන එක වටිනවා! "
අපි පිටත් වෙනකොට අහන්න ලැබුණෙ ඔහොම දෙයක්.
දියදාව කාර්යාලේ ඉඳලා මෙදේරිපිටියට විතරයි වාහනෙන් යන්න පුළුවන්.එතන ඉඳන් පටු පාර..
ආටා එකකින් ගියොත් විතරයි පිටදෙනියට යන්න පුළුවන්..
ඩබල් කැබ් එකේ සැපට ආපු අපි මෙදෙරිපිටියෙන් බැස්සා.. පොඩි ටවුමක්. ටවුමක් කියන්නේ කඩ පහ හයක් එක්ක බස් එකක් ගාල් කරපු තැනක් කිව්වොත් මං හරි.
ඉන්න දවස් ගානක් හිතලා නැති නිසා අපි පොඩි කඩේකින් නූඩ්ල්ස්,බිස්කට් එක්ක තව අඩුම කුඩුම ටිකකුත් ගත්තා..
මේ ඔක්කොම බඩු එක ත්‍රීවීල් එකක දාන්න පුළුවන් වෙයිද? ඊළඟ ප්‍රශ්නේ..
අපෝ ඇහැකි මහත්තයා...
අපි වෙනුවෙන් ත්‍රීවීල් එකක් හොයලා දෙන්න පවා ඩබල් කැබ් එකේ රියදුරා කාරුණික වුනා..
ටෙසලාකරණය පාඩමේ පිහිටෙන් බඩු ටිකත් පටවලා අපිත් පැටවුණාම ත්‍රීවීල් එකට මීක් ගෑවුණා...
පටු කොන්ක්‍රීට් පාලමකින් එගොඩ වෙලා අපි මේ යන්නේ පිටදෙනිය වන සංරක්ෂණ නිවහනට. කාලෙකින් ජන්දයක් ආපු නැති නිසා පාරවල් දිහා කවුරුත් ඇහැක් ඇරලා බලලා නෑ වගේ..
බොහොම අමාරුවෙන් අපි පටවගෙන කඳු නැගලා පල්ලම් බැහැලා ත්‍රීවීල් මල්ලි පිටදෙනියට අපිව ගෙනාවා.
200යි..
200ට උඩින්ම ලාබයි.
පොඩි කෑම කඩයක් එක්කම වයසට ගිය සීයා කෙනෙක් අපිත් එක්ක හිනාවුණා.
සීයගේ කඩේ ළඟින් දකුණට පල්ළම් බහින පාරෙන් තමයි යන්න තියෙන්නෙ.
බඩු ටික කරතියාගෙන අපි පිටත් වුණා.. අමතරව කෑමත් එකතුවුණ නිසා ගමන් මළු අපෙන් බාගයක් විතර.
මීටර 500ක් විතර ගියාම තමයි අපිට සිංහරාජෙට ඇතුල් වෙන තැන හමුවුණේ.
ඔබට ප්‍රවේශපත්‍ර ලබාදෙන්නෙත් මේ ස්ථානයෙන්. දේශීය වැඩිහිටියෙකු සඳහා රුපියල් 25ක් වැනි මුදලකට පිවිසුම්පතක් නිකුත් කරනවා. මෙහිදී සංචාරක මඟපෙන්නවන්නෙකුගේ සහය ලබාගැනීම අනිවාර්යයෙන් කලයුත්තක්..
අද 21 වෙනිදා..බ්‍රහස්පතින්දාවක්..
සතියේ දවසක් නිසා සෙනඟ අඩුයි.. අපි කවුන්ටරේ ළඟට ගියා..
මූණේ ලපයක් තියෙන නිළධාරියෙක් එළියට ආවා..
අපි ආපු කාරණේ පැහැදිලි කරලා සංජය අයියා වන සංරක්ෂණ එකෙන් ගත්ත අවසර ලිපියත් දුන්නා... දෙතුන් පාරක් ලියුම කියවලා බලපු ලපේ සහිත නිළධාරියා
" මේක මෙහෙම බෑ..මාතරට ගිහින් එන්න ඕනේ..
අපි කොහොමත් මෙහෙ රිසර්ච් කරන්න දෙන්නෙ නෑ..."
අපි උඩ ගියා.. ආපු වැඩේ කොට උඩද?
" මං කියන්නම්, මේ ලියුම අරන් කෙලින්ම යන්න ඉස්සරහා කෑම්ප් එකට එතන මහත්තයෙක් ඉන්නවා, කොහොමත් අපි නැවතිලා රිසර්ච් කරන්න දෙන්නේ නෑ.."
අපිට බර අවුල.. ඉස්සරහට මොනා වෙයිද?ඔක්කොම අකුලන් යන්න වෙයිද?
ඉස්සරහා ගේට්ටුවේ ඉඳන් කිලෝමීටර් එකහමාරක් එහායින් තමා පිටදෙනිය නිවහන පිහිටලා තියෙන්නෙ.
සංචාරක බංගලා 3කින් සපිරි මේ නිවහන සොබාසිරිය එක්ක නිවාඩුවක් ගතකරන්න කැමති ඔබට කදිම තෝතැන්නක්.
කැලෑවෙ මායිමෙන් ගලන ගිං ගඟ එක්කම සමාන්තරව යන මංපෙතක් දිගේ මේ සැතපුමක දුර අපිට තරමක් වෙහෙසකර වුණා..
" වාහනවලම ඇවිල්ල පයින් යද්දි ඔහොම තමයි"
ගමන් මාර්ගයේ තැනින් තැන සංචාරක බංගලාවට ඇති දුර සඳහන් වුණා..
Pitadeniya camp 0.92km
පිටදෙනිය නිවහනට අපි එද්දි මද්දහනට කිට්ටුයි.
පාලම පද්දන්න එපා!
ගිං ගඟට උඩින් එල්ලෙන මීටර් 20ක් විතර දිග ලෑලි පාලමක්.පාලමට ඇතුල් වෙන අපෙන් පොඩි ඉල්ලීමක්.
ඈත ඉඳන් මේ පාලම දිහා බලන කෙනෙක්ට මේ වගේ පාලමක් කොහේ හරි දැකලා හුරුකමක් දැනෙයි...
ඔව්..ගෝල්ඩන් ගේට් පාලම.

මේ ප්‍රදේශයෙදි ගිං ගඟ බොහොම පළලින් ගලා බහින්නේ බොහොමයක් අතු ගංගා එකතු වෙන නිසා.
පාලමෙන් එගොඩ වෙන්න ඕනෙ පිටදෙනිය නිවහනට යන්න නම්...
එතනට යද්දි අපි ඉස්සරහට ආවෙ ඝන උඩුරැවුලක් තිබුණු මැදිවයසේ නිළධාරියෙක්.
අපි ආයෙත් ආපු කාරණේ කිව්වා.
මෙයා නම් අවුලක් නෑ වගේ....
" ඉස්සර්හින් මොකද කිව්වේ? "
" ආ.... එහෙම කිව්වද?
හැමෝටම රිසර්ච් ගැන අත්දැකීම් නෑ නේහ්... ඒකයි ඔය.. හැබැයි හැමෝම එහෙම නෑ... "
ඒ වචන ටිකෙන්ම අපේ දෙගිඩියාව එහා පැත්තේ තිබ්බ ගිං ගඟට තල්ලු කරලා අපි ලෑස්ති වුණේ ආපු වැඩේ කොහොමහරි කරගන්න..
"දැන් එතකොට කෑම එහෙම කොහොමද දවල්ට?"
"කෑම ගෙනාවා සර්... "
"එතකොට රෑට?"
" පාන්,නූඩ්ල්ස් එහෙම තියෙනවා හදාගන්න පුළුවන්"
" ආ..... එහෙම ඕනේ නෑ ..
මෙහේ කෑම තියෙනවා කොහොමත්... අපි බත් කමු. කොල්ලොන්ට පාන් කාලා මදි නේ.. "
තවත් අදහන්න බැරි අවස්ථාවක්!
දවල් කෑමට තවත් කල් වේලා ඇති නිසා අප තීරණය කලේ කවුඩන් සොයා යෑමටයි...
දහවල් කෑම වේලාව වනතුරු සෝදිසි කලත් කවුඩන්ගේ සේයාවක් වත් අපට හමුවූයේ නැත.ඒ වෙනුවට හමුවූයේ කළු කොන්ඩයන්(black bulbul) බැමකහ ගුලුගුඩුවන්(yellow browed bulbul) හා ශ්‍රී ලංකා අළු කෑදැත්තන් (Sri Lankan grey hornbill) පමණි.
මේ කවුඩන් පිළිබඳ අධ්‍යනයේදී අප අවධානය යොමුකලේ මහා සිළු කවුඩා හා පිතිපෙඳ කවුඩා යන විශේෂයන් වෙතයි. අප නිතර දෙවේලේ දකින කවුඩාට වඩා ප්‍රමණයෙන් විශාල වන මේ විශේෂ වල හිසෙහි සිළු හැඩැති පිහාටු මෙන්ම පෙඳයේ සුවිශේෂී හැඩයද කැපී පෙනෙයි.
පර්යේෂණයේ අවසන් අරමුණ වූයේ මෙකී කවුඩන්ගේ ශබ්ද උගෙනීමේ හැකියාව හා එහි පරිණාමය පිළිබඳ අධ්‍යනය කිරීමයි.
දහවල් ආහාරයෙන් පසු අප හිතවත් නිළධාරියා අපට පැවසූවේ එක් සංචාරක බංගලාවක් අප වෙනුවෙන් සූදානම් කර ඇති බවයි.
කූඩාරමක සැතපී සුලු ආහාරයකින් කුස පුරවාගැනීමට සූදානමින් ආ අපට රජ සැලකිලි!
බඩුමුට්ටු සියල්ලට අප වෙනුවෙන් සූදානම් කරලා තිබූ ගිං ගඟ නිවහනේ විවේක ගන්න දීලා අපි ගියේ අපේ අද්දරින්ම ගලායන ගිං ගඟ දිහාවට.
උඩහට වැහැපු වැස්ස ගඟේ වතුර බොර කරලා..
.
යන්තම් හවස 3 පහුවුණා විතරයි.. කොහෙන්දෝ ආපු වැස්සක් වහලේ දිගේ බේරෙන්න ගත්තා..හදිස්සියෙම පටන් ගත්ත වැස්සෙන් බේරෙන්න පෙරදිග කුරු පිළිහුඩුවෙක් කලබලෙන් ඇවිත් අපිට ඉස්සරහා අත්තක නැවතුණා.. ගෙදරට ආපු අලුත් අමුත්තන්ට ඌ කැමති නෑ වගේ.. ඔය ගියේ තෙමි තෙමී ම.
වැස්ස තුරල් වෙද්දි අඳුර වැටෙන්නත් ඔන්න මෙන්න.. රාස්සිගේ අව්ව ඈතින් පේන කැලෑවේ වියන උඩ නැවතිලා..
දැන්වත් කවුඩෙක් එයිද? තුන්දෙනාම උඩ බලන්..
ගඟේ එහා ඉවුරේ ගහක ලේපිට මහ කෑරල්ලු හතර දෙනෙක්. පාලම මැද්දට ගියාම මරුවට පේනවා...
අපරාදේ කැමරා එක ගේන්න තිබ්බේ..
පාලමේ කණුවකට ප්ලස්ටික් බෝතලයක් කපලා මොකක්ද අටවලා.
පස්සෙයි දන්නේ මොකක්ද මේ කියල.. පළාතටම ෆෝන් සිග්නල් තියෙන්නේ මෙතනට විතරයි.. ෆෝන් එක මේ බාගෙට කපපු බෝතලේ ඇතුලට දාලා බලන් ඉන්න ඕනේ කණුවක් අහුවෙනකන්..
දැන් නම් ඉරත් බැහැලා ගිහින්... කුරුල්ලො කැදලි වලට ආපහු එනවා . සමහරුන් රංචු පිටින්...සමහරු තනියෙන්.. කොහොම ආවත් හැමෝම එන්නේ අඳුරු ඡායාවන් වෙලා....
අන්න ගියා!!!
සංජය අයියා අපේ මිත්‍රයා එක්ක කතාවක...
මායි ජූඩයි හදිසියේම දැක්කේ කඩුඩෙක්ගේ ඡායාවක්....
සුබ ආරංචියක්!
හෙට උදෙන්ම නෙට් එක ගහමු..
හෙට දවස කලින්ම සැලසුම් කරලා රෑ කෑම අරන්ම ආපහු ආවා අපේ ගිං ගඟ නිවහනට.
උදේ 6 වෙද්දි කස්ටියම ලෑස්ති.
එහා ඉවුරේ ඉඳන් මානාතුඩු පිළිහුඩුවෙක් කෑ ගහන්නේ ඉර එලිය වැටෙන්නත් කලින් ඉඳන්.
එකපාරටම පුරුදු සද්දයක්..
යමං!
සංජය අයියා නෙට් එකේ බඩු ටික අරන් දුවලත් ඉවරයි.
තුන්දෙනාම එකතුවෙලා නෙට් එක ඇටෙව්වා..
අපි මේ කරන්නේ සක්‍රිය විදියට කුරුල්ලන් ඇල්ලීමක්.. මේකට යොදාගන්නේ අඳුරු දැල හෙවත් මිස්ට් නෙට් එකක්.
මුලින්ම අපිට අල්ලගන්න ඕනේ කුරුල්ලගේ ගීතය එහෙම නැත්නම් නාදය වාදනය කරන්න ඕනේ..
ඒ ප්‍රදේශයේ කුරුල්ලා ඉන්නවා නම් ප්‍රතිචාර විදියට අපි ශබ්දය වාදනය කරන ප්‍රදේශයට එනවා.. ඊට පස්සේ තමයි මිස්ට් නෙට් එක හරහා අදාල කුරුල්ලව අල්ලා ගන්නේ.. මේ ක්‍රමයෙන් කුරුල්ලට හානියක් නොවුණත් මේ මිස්ට් නෙට් සඳහා අවසරය ලබාදෙන්නේ ඉතාමත් සීමිත ඒ වගේම අවසරලත් පුද්ගලයන්ට විතරයි.
මේ විදියට විනාඩි පහක් විතර යන්න ඇති. පහ හයක විතර සිළු කවුඩෝ රංචුවක් අපේ සද්දෙට රැවටිලා.. ඒ ගහෙන් මේ ගහට.
කවුද මේ ආගන්තුකයා කියලා හොයනවා..
වැදියං..දැලට වැදියං..! හැමෝම බලන් ඉන්නවා.. කුරුල්ලො දැලට උඩින් යනවා.. පැත්තෙන් යනවා..තාම කවුරුත් දැල හරහා ගියේ නෑ..
අනිත් සංචාරක බංගලා වල නැවතිලා ඉඳපු උස සුදු මහත්තුරු වගේම රතු ලස්සන නෝනලා උදේට තේ බොන්න යනවා..
මොනවද මේ යක්කු මේ ගල් හීතලේ කරන්නේ... පිස්සුද මන්දා.
බොහොමයක් අය හිතෙන් මෙහෙම මුමුණන්න ඇති.
තවත් සමහර අයට ප්‍රශ්ණ ගොඩායි. මොකද මේ..? කවුද ඔයාලා..? මොකක් ගැනද රිසර්ච් එක?
කොහොමින් කොහොමින් හරි අන්තිමේදි ඈත බෝඹු අත්තක වහලා හිටපු කවුඩෙක් කෙලින්ම දැලට ඇවිල්ලා නැවතුණා..
උදේ පාන්දරම මේ මොකක්ද උනේ! කවුඩා කලබල වෙලා.. මේ වැඩෙන් වෙන්නේ තව තවත් දැලේ පැටලෙන එක.
දඩිබිඩියේ දැල පාත් කරලා කුරුල්ලාව නිදහස් කරගත්තා.. ප්‍රධාන වශයෙන් කෘමින් කෑමට ගන්න කවුඩාගේ හොටය තියුණුයි වගේම වේගවත්. කුරුල්ලාව හරියට අල්ලාගත්තේ නැතිනම් සිද්ද වෙන්නේ අතේ ඇඟිලි කීපයක රතු පාට පැල්ලම් ටිකක් සටහන් කරගන්න.
දැලෙන් නිදහස් කරගත් කුරුල්ලා හරිම ප්‍රචණ්ඩයි.. කුරුල්ලාව සංසුන් කරන්න මුලින්ම කරන්න ඕනේ ඌව අඳුරු පාට රෙදි වලින් මහපු මල්ලකට දාගන්න එක. මේ අඳුරු පරිසරය කුරුල්ලව තරමක් දුරට සංසුන් කරන්න සමත්.
මේ විදියට තමයි කුරුල්ලෙක් දැල ළඟ ඉඳලා දත්ත එකතු කරන තැනට අරන් යන්නෙත් ආපහු නිදහස් කරන්න අරන් එන්නෙත්.
හා හා පුරා කියලා අපිට අහුවුණු පළවෙනි කුරුල්ලගෙ දත්ත එකතු කරගන්න අපි ලෑස්ති වුණා. මුලින්ම කලේ බාහිර මිනුම් කිහිපයක් ගත්තු එක. හිසේ දිග, පළල, හොටයේ දිග පළල ඒ වගේම මේ කුරුල්ලගේ කැපී පෙනෙන හිසට උඩින් පිහිටලා තියෙන සිළුවේ හා පෙඳයේ මිණුම්.
ඊට පස්සේ තමා වැදගත්ම දේ... කුරුල්ලගෙන් ලේ ටිකක් ලබාගන්න එක. ගොඩක් නෙවෙයි. බොහොම පොඩ්ඩක්.
කුරුල්ලගේ පියාපතේ යටින්, සිරුරට සම්බන්ධ වෙන්න ආසන්නයෙන් තියෙන ජඝනපෝෂී ධමනිය එහෙමත් නැතිනම් brachial artery එක තුවාල කරලා තමයි මේ විදියට ලේ ලබාගන්නේ.
ඇයි පියාපතෙන් ලේ ගන්නේ ? ඒකෙන් ඌට පියාඹන්න අවුලක් වෙන්නේ නැද්ද? සමහරවිට ඔබට හිතෙයි.
ඇත්තටම කුරුල්ලට පියාඹන්න අවශ්‍ය කරන බලය හා ජවය ලබා දෙන්නේ කුරුල්ලගේ උරතලය එහෙමත් නැත්නම් නෞතලයට සම්බන්ධ වුණු මාංශපේෂී මගින්. ඒ නිසා මේ විදියට ලේ ස්වල්පයක් ලබාගන්න එක ඌට හානිකර නෑ.
ලබාගත්තු ලේ ඉදිරියේදී විශ්ලේෂණය කරන්න පරිරක්ෂක වලට එකතු කරපු එක තමයි අපේ ඊළඟ කාර්ය වුනේ.
වැඩිදුර පරීක්ෂණ වලට පිහාටු කිහිපයකුත් ලබාගෙන නිල් පාට මුදු දෙකකින් කුරුල්ලාව සලකුණු කරන්නත් අපි අමතක කලේ නෑ..
ඉක්මණින්ම අවශ්‍ය දත්ත අරගෙන කුරුල්ලාව නිදහස් කරන්න ඕනේ.. දවල් වෙද්දි වැස්ස වැටෙන නිසා කැලේ කුරුල්ලන්ට කෑම හොයන්න තියෙන කාලය සීමිතයි. ගොඩක් වෙලා කුරුල්ලව තියාගෙන ඉඳලා අපි කුරුල්ලට කරන්නේ අසාධාරනයක්. ඒ නිසා කුරුල්ලව පුළුවන් ඉක්මනට නිදහස් කරන්න අපි උනන්දු වුණා.
අලුතෙන් තෑගි ලැබුණු මුදු දෙකත් දාගෙන ඌ ඉක්මණටම රංචුවට එකතු වුණා.
to be continued...
Comments