සේර යාය මැද්දෙන් මිහිදුම් වනාන්තරයට - Great Western 02
- Raksh
- Aug 8, 2018
- 5 min read
පළමු කොටසට මෙතනින්..
https://rakshx.wixsite.com/thewanderer/blog/අමතක-න-ව-න-ග-ර-හ-ල-අරඹ-great-western
අද එතන ඉඳන්.....
සේර යාය පීරගෙන ඉස්සරහට යද්දි ටික ටික ආයෙමත් කොල පාටින් අතු ඉති පාටවෙච්ච ගස් ගොන්නක් මතුවෙනවා..
ඒත් එක්කම ආයෙමත් හීනියට පොදක් ඇදන් වැටෙන්න ගත්තා..
වැහි පොදට තෙත් වුණු කලුගල් කුට්ටි උඩින් තියන අඩිය සමහර වෙලාවට ලිස්සලා යන්නේ හිතන්නත් කලින්.... කන්ද උඩින් පස් තට්ටු හෝදගෙන පල්ලම් බහින පුංචි පුංචි වතුර පාරවල් හින්දා සමහර තැන්වල පස් හරිම බුරුලයි..
මේ දක්වා ආපු ගමනේ ලොකු නැග්මක් අපිට හමුවුණේ නැතත් දැන් අපි ඉස්සරහින් තියෙන්නේ ගල් කුට්ටි ගිලගත්තු තෙත පස් වලින් හැදිච්ච ලොකු නැග්මක්... සමහර තැන්වල පස් කඩා වැටිලා...
පහළින් තියෙන්නෙ අඩි ගානක් පහළට දුවගෙන යන හෙල...
සමහර තැන්වල හරියට අඩිය තියන්න තැනක් නැති වුණත්, අඩිපාර දෙපැත්තෙ තියෙන පොඩි පඳුරු වලට පිං සිද්ධ වෙන්න යාන්තමට එල්ලිලා උඩට යාගන්න පුළුවන්... ඒත් සමහර තැන්වල අල්ලගන්න තරම්වත් දෙයක් නෑ...සමහර පඳුරු අතටම ගැලවිලා එන්නෙ ලොකු පස් කුට්ටියකුත් එක්ක...
ඒ වෙලේට තමයි කෝකටත් කියලා අරන් ආපු මන්නා පිහිය පිහිටට එන්නේ... යාන්තමට අඩිය තියාගන්න පුළුවන් ගානට කන්ද දිගේ පඩි කැපෙද්දි පොඩි සරීර ටික මුළින්ම උඩට ඇදෙනවා..
මේ විදියට අපි පැය බාගයක්වත් ඔට්ටු වෙන්න ඇති..
අමාරු හරිය පහු කරාම අපිට හම්බෙන්නේ හොඳට උස මහත ගස් පිරුණු කඳුකර වනාන්තරයක්.. මේ පැත්තටනම් හොඳට මනුස්ස පහස ලැබෙන පාටයි... තරමක් හොඳ අඩිපාරක්...සමහට තැන්වල කලු තෙල් වලින් පාර ලකුණු කරලා..
තව ටිකක් උඩට යනකොට තමා මනුස්ස පහසේ ආනිසංස පේන්න ගන්නේ..
තනි මිනිහෙකුට බදන්න බැරි තරමේ ගස් බිම දිගේ...
අපි යනකොටත් මේ මළගෙවල් වල පාංසකූලේ දීලත් හමාරයි. ලොකු අතු එහෙම සුද්ද කරලා කන්ද පහළට අරන් යන්න ලෑස්ති කරලා....
මේ අපරාධ කලේ කවුද කියලා පේන්න නොහිටියත්, වැඩේ නම් පොඩි පහේ එකක් නෙවෙයි කියලා අපිට පෙනුනා...
මේ ගස් යාය පහුකරගෙන යද්දි තාම කවුරුත් වැඩිය අත පොවපු නැති නොයිඳුල් ඉසව්වකට අපි ආවා... මේ හරියේ නම් යන්න පාරක් නැති තරම්..
ගස් වියන අතරින් හරි උජාරුවට ඉන්න කඳු මුදුන යාන්තමට බලාගෙන අපි ඒ ඉසව්වට ඇදුනේ ඉවෙන් වගේ..
මොකද පාර අහන්න කියලාවත් මනුස්ස පරාණයක් අපේ ගමන පුරාවට හමුවුණෙ නෑ..
තව ටිකක් ඉස්සරහට යනකොට ඝනට වැවුණු යටි වගාවක් එක්ක ටිකක් එළිමහන් කොටසක්..මෙතනට මීදුමෙන් වැහුණු කඳු මුදුන හරි අපූරුවට පේනවා.. මෙතන ඉඳන් ලොකුවට කැලයක් නැතිවුණත් කොළ පාටින් නම් අඩුවක් නෑ.... දිය සෙවලෙන් වැහුණු ගල් තලා.. අලුත් වැස්සට මුහුම් වෙච්ච සීතල වතුර පිරුණු දිය පාරවල්... ඝන සැරේට පොළොව තමන්ගේ කරගත්තු ලඳු කැලෑ මැද්දෙන් ගමන මහන්සිය ඉබේටම වගේ අමතක කරනවා...
ගස් ගල් ලකුණු කරගෙන අපි ඉස්සරහට ඇදුණා.. සමහර තැන්වලදී අඩි ගානක් උඩ ඉඳන් පහළට රූටන් එනවා... සමහර තැන් වලදි අඩිය පොඩ්ඩක් එහේ මෙහේ උනොත් කෙළින්ම හෙල පාමුල..
කොහොමින් කොහොමින් හරි ඉරත් මුදුන් වෙලා.. කන්ද මුදුන පේන මායිමේ... ආයේ බහින්නත් එපැයි කල් ඇතුව.. ඒ නිසා අඩිය ඉක්මන් කරලා කන්ද මුදුනට යන එකයි හැමෝගෙම අරමුණ උනේ..
ඔන්න ඉතින් අපි ග්‍රේට් වෙස්ටර්න් නැග්ගා..!
ඇත්තටම මෙහෙම හිතුනේ කන්දු මුදුනට ඇවිල්ලා වටපිට බලනකම් විතරයි...
අපිට ඉස්සරහින් ගස් පිරිවරාගත්ත ලොකු පර්වත රාජයෙක් ඉන්නවා අපි දිහා බලාගෙන.. හරියට නිකන් කොලොප්පමට වගේ..
අපි මේ ඇවිත් තියෙන්නේ කන්දේ එක මුදුනකට විතරයි.. ඔක්කොටම ඉහළින් තියෙන හිරිහෙල තමා මේ පේන්නේ...
මෙතන ඉඳන් පාරක් කියලා නාමයක් වත් නැති නිසා ටික දෙනෙක් කිව්වේ ආපහු හැරෙමු කියලා..
ඒත් අන්තිමට බහුතරේ කැමැත්ත කියලා උඩටම යන්න සබා සම්මත වුණා...
බිම වැටුණු ගහකින් තරමක පොලු කීපයකුත් කඩාගෙන මග එළිකරගෙන අපි මේ යන්නෙ ලොකු බඩේ ගින්දරකුත් හංගගෙන..
සමහර තැන්වල කොල තැලිලා පොඩි වෙලා පාරක් පෑදිලා.. කවුරුහරි මේ පාරේ ගිහින් වගේ..
ලොකු හයියක් හිතට..
සමහරුන්ගේ කලිසම් පැළිලා ගස් ගල් දිගේ බඩගාලා.. දණිස් එහෙම මඩ පාටයි.. මෙහෙම බාධක මැද්දෙන් අපි කොහොමින් කොහොමින් හරි "ඇත්තම කඳු මුදුනට " ආවා....
කන්දක් නැග්ගම තියෙන සතුට!


ජීවිතේ පළවෙනි වතාවට විඳිනකොට දැනෙන හැඟීම කවදාවත් අකුරු කරන්න බෑ.. මේ සටහන් තියන එකේ බලාපොරොත්තුව තවත් කෙනෙක් මේ වගේ අත්දැකීම් ලබාගන්න දිරි ගන්වන එක මිසක් අකුරු ටිකක් කියවලා කාගෙවත් හැඟීමක අනියම් අයිතිකාරයෙක් වෙන එක නෙවෙයි.
කන්ද මුදුන සම්පූර්ණයෙන්ම වගේ වැහිලා තිබ්බේ බෝවිටියා, වැරැල්ල වගේ ගස් එක්ක තව නම නොදන්න අඩි 5ක් 6ක් උස ගස් ජාති වලින්.. ඒ අතරෙ ලොකු ගහක් දෙකක් නැතුවාමත් නෙවෙයි..
කන්ද මුදුනේ ඉඳන් පහළ බලද්දි අපි පහු කරගෙන ආපු ගම්මානේ එක්ක තවත් ඈතින් තියෙන පොඩි ගම්මාන හරි ලස්සනට පේනවා... ගිනි පෙට්ටි විතර ගෙවල්, තේ ෆැක්ටරි ඒ ඔක්කොටම වඩා හරි ලස්සනට රටා පේන තේ වතු..... පේන තෙක් මානෙටම විහිදිලා..

කොළ පාටින් වැහුණු කඳු හෙල් මැද්දෙන් වෙනසක් නැතුව ඇදෙන සුද්දා හදපු රේල් පාර දිගේ බදුල්ල පැත්තෙ ඉඳන් පල්ලම් බහින කෝච්චිය කඳු මුදුනට පේන්නේ හරියට ලොකු කොළයක් දිගේ හෙමි හිමීට යන දළඹුවෙක් වගේ..
එකපාරටම එන මීදුම් සේලයක් අපේ පේන මානෙම අවුරා ගන්නේ හිතන්නත් කළියෙන්..

කළින් කිව්වා වගේ බඩ ගින්දරක් ඇවිලෙන නිසා අපි මොනවාහරි බඩට දාගන්නයි ලෑස්තිය..
පාන් රාත්තල් දෙක තුනක්, ජෑම් බෝතලයක් එක්ක බණ්ඩාරගම ඉඳන් මග දිගටම ටාං ටෝං ගාගෙන අරන් ආපු කලුවෙච්ච කේතලයක්... කෝපි හදන්න කියලා..
ඊට අමතරව කෝපියි සීනියි..
හරි අමාරුවෙන් ගස් යට රින්ගලා නොතෙමුණු දර ටිකක් හොයාගත්තේ.. එහෙ මෙහෙ විසිවුණු ගල් තුනකුත් හොයාගෙන යන්තම් ලිපක් අටවාගත්තා.. වැඩි අමාරුවක් නැතුව ගින්දර අවුලා ගත්තත් වතුර රත්වෙන්න හොරයි වගේ...
දෙතුන් දෙනෙක්ව ලිප ලඟ තියලා අනිත් අය ලෑස්ති වුනේ පාන් සූදානම් කරන්න..
කෝ මිනිහො ජෑම් ගාන්න පිහියක්?

කාගෙදෝ බෑග් එකක තිබ්බ අඩි බාගේ ප්ලාස්ටික් රූලක් තමා මේ වෙලාවෙ පිහිටට ආවෙ...පාන් හදලා කෝපි හදන්න බලද්දි කෝපි හදන්න බාජනයක් නෑ..පැහෙන වතුර එකටම කෝපි ටිකයි සීනි ටිකයි හලලා කෝටුවකින් කූරු ගෑවා...

හැමෝටම කෝපි සමග පාන්... කෝපි එක නම් අනේ මන්දා වුනත් එවෙලේ අමුර්තෙ පරාදයි...
ඔක්කොම ඉවරවෙලා වටපිට බලබල ඉන්නකොට එකපාරටම මීදුම බාන්න ගත්තා... යන්න පාරක්වත් නැති එකේ මීදුම අස්සෙ යනවා කියන්නේ තවත් අවධානමක්... ඒ නිසා හැමෝම ඉක්මන් වුණා...මග සලකුණු නිසා පල්ලම් බහින එක ඒ තරම් කරදරයක් නොවුණත් මීදුම නිසා ඔහොම මෙහෙම නොපෙනෙන තැන් වලදි ගමනේ වේගය බොහොම අඩාල වුණා...

ඒ එක්කම වගේ මීදුම ආයෙමත් අඩුවුණේ අපේ වාසනාවට වගේ...
කළින් බොහොම අමාරුවෙන් නැගපු තැන්වලින් දැන් බහින එක ඊටත් අමාරුයි.. ලිස්සනවා එක අතකින්.. රූටලා ගියොත් හෙලේ...
පස් බුරුල් තැන් මහ ඇරගෙන කොහොමින් කොහොමින් හරි අපි සේර යායට ආවා.. මෙතන ඉඳන් ගමන ඉක්මන් ... පැය 4ක් විතර නැගපු කන්ද අපි පැය 2න් වගේ බැස්සා..
කෝවිලෙන් රේල් පාරට බැහැලා තව පොඩ්ඩක් ඉස්සරහට යද්දි ලොකු යකඩ පාළමක්... පාළම යටින් ගලන්නේ බොහොම සරු දිය පාරක්...
ගමනේ මහන්සිය හෝදලා අරින්නත් එක්ක හැමෝම දොල පාරට ආවා..
සීතලද බලපං.. පාප් වහන්සේ ක්‍රිස්තියානිද ඇහුවලු...
ගල් ගැහෙන්න හීතල වතුර... හීතලයි කියලා බෑ.. නාමු..

වතුර යට ඔලුව ඔබාගත්තම කන් අඩි වලින් සද්දයක් එනවා.. ටික් ටික් ගාගෙන...හරියට රත්වෙච්ච එන්ජිමක් නිවෙද්දි එන සද්දෙ වගේ..

ගොඩට ආවම තමා ඔක්කොටම වඩා...කට කට ගාල ගැහෙන හීතල....
නාලා කරලා ඉවරවෙද්දි හවස 4ට කිට්ටුයි.. ආයෙමත් කෑම ගැන කතාවක් ඇදිලා ආපු නිසා අපි පිටත් වුණා ඊලඟ ගම්මානෙ හොයාගෙන... ග්‍රේට් වෙස්ටර්න් වලට කිලෝමීටර තුනහමාරක් එහායින් තියෙන රදැල්ල කියන ගමේ තමයි අහලකටවත් කඩමණ්ඩියක් තියෙන්නේ..
ග්‍රේට් වෙස්ටර්න් වල ඉඳන් රදැල්ලට යන ගමනත් හරිම සුන්දරයි... කඳු මැද්දෙන්.. ගල් තලා අතරින් රේල් පාර දිගේ යන එකත් අමුතුම අත්දැකීමක්....
රදැල්ලට ආවා ඔන්න...
පොඩි ස්ටේශමක්, කඩකාමර තුන හතරක් එක්ක පුංචි ගමක් ..බහුතරේ දෙමළ මිනිස්සු...
අපි යද්දි කෑම මුකුත් නෑ.. ගමටම තියෙන එකම රොටි කඩේ තාම පිටි අනනවා..
"පැය බාගේ දෙන්නම් මාතියා" කිව්ව නිසා අපිත් රේල්ලුව අයිනේ ඉඳගෙන හිටියා... ඉඳලා හිටලා එන හීතල හුළං අත පය හිරිවට්ටගෙන මොකුත් නොවුණු තාලෙට ඈතට ඇදිලා යනවා...
පොල් රොටී පිච්චෙන සුවඳත් එක්ක අපිට උණු උණු රොටී ලැබුණා... ගෙදර හදන රොටියට වඩා අමුතු රහක්...
ආයේ කොළඹට යන්න කෝච්චියක් එන්නේ රෑ 8යි ගානකට...
මෙහේ ඉඳන් කරන්න දෙයක් නැති නිසාත් ටිකෙන් ටික කළුවර වැටෙන හින්දත් හවස 6යි 20ට ආපු කෝච්චියෙන් අපි හැටන් වලට ආවා... ඒ එද්දිත් රැ වෙලා...
කොළඹ කෝච්චිය මෙහෙට එද්දි රෑ 10ත් පහුවෙනවා කියලා තමා ස්ටේශමෙන් කිව්වේ.. ඒ නිසා රෑට කෑමටත් එක්ක අපි හැටන් ටවුමේ ඇවිද්දා.. රෑ කියලා නෑ... පිටකොටුව වගේම හරි කඩිසරයි... එළවලු ලොරි, බස්, කෑමොර දෙන මිනිස්සුන්ගෙන් ටවුමට නිදාගන්න ඉඩක් නෑ...
බණ්ඩාරගම සහෝදරයගේ අදහසකට හැටන් ටවුමේ ටිකක් කෙළවරකට වෙන්න තියෙන "මාතර බත් කඩෙන් " රෑට සප්පායම් වෙලා අපි ආයෙම ස්ටේශමට ආවා... මාතර බත් කඩේ කෑම ගැන අපි අදටත් අවුරුදු 2ක් ගිහිල්ලත් මතක් කරන්නේ අදහස දාපු සහෝදරයගේ පවුලෙ අයව ආදරෙන් මතක් කරන ගමන්..
කල් මරන්න අදෙයක් තියෙන්නත් එපැයි ස්ටේශමේ ඉන්න ගමන්.. ටික දෙනෙක් බෑග් බදාගෙන නිදි... තව 4 දෙනෙක් ටිකට් කවුන්ටරේ ළඟ තියාගෙන් ඕමි ගහන අතරේ ටික දෙනෙක් සීතල නගරෙ රස්නෙ තැන් හොයන්න ගිහින්..

රෑ 10යි 40ට වගේ බදුල්ලට අරන් ගිය ලියුම් ටික බාරදීලා එන රාත්‍රී තැපැල් දුම්රිය හැටන් වලට සේන්දු වුනා...
සුන්දර දවසක් නිමාකරමින් අපි දුම්රියට ගොඩවුනේ මතක ගොන්නකුත් එක්ක වගේම තවත් බොහොමයක් අනාගත චාරිකා හිතේ තියාගෙන...


ඉතින් අපි ආරධනා කරනවා ඔබටත්.... මේ පුංචි රටේ සුන්දර තැන් හොයාගෙන යන්න... ඒ තැන් රසවිඳින්න.... ඒ ඔක්කොටම වඩා ඒ තැන් අනිත් අයටත් රස විඳින්න ඉතිරි කරන්න...
ජය!

Comments