TRAVEL WITHout වතුර - හාවාගල
- Raksh
- Mar 10, 2019
- 6 min read

සංචාර සටහනක් ලියන්න කාලයක් තිස්සේ හිතාගෙන හිටීයත් එක එක වැඩ අස්සේ ඒකට බාලගිරි. ඉතින් අදවත් ලියලා දානවද කියලා මේ බැලුවේ..
ඉඳලා හිටලා ලැබෙන නිවාඩු පාඩුවක "හෙට යමං" කියලා අද ලෑස්ති වුණු ගමන් අතරින් හාවාගල ගමන ගැන තමයි අද මගේ සංචාර සටහන.
හාවාගල ගැන මුලින්ම දැනගත්තේ ලංකාදීප පත්තරේ පලවෙච්ච ආටිකල් එකකින්.පස්සේ පස්සේ බුකියේ පෝස්ට් අටෝරාසියක "නගිනව නම් මෙන්න කඳු!" කියලා තිබ්බ කඳු ලිස්ට් වලින්. ඔහොම ඔහොම නිතර දෙවේලේ බලද්දි පෙනෙද්දි "හාවාගල උණ" ඔළුවට ගැහුවා.
අඩෝ හාවාගල යමුද?
හා යමන් බං.. එල පට්ට!
කවද්ද බං?
දවසක් කිව්වම තමා ඔක්කොම හබක්.. එක්කො එකෙක්ට එසයිමන්ට්. තව එකෙක්ට එක්සෑම්.. නැත්නම් මගුලක් බණක් දානයක්.. කොටින්ම තාත්තා ගැබ්බර වෙලා හරි යන එකට උදැල්ලක්.
ඉස්කෝලෙ යාලුවො ටික කාලෙකින් සෙට් උනු වෙලේ අයිඩියා එක දාලා බැලුවා. චාරිත්‍රානුකූලව ග්‍රීන් ලයිට් ආවත් යන දවස ලංවෙද්දි එකෙක් හැළුණා " උඹලා ලෑස්ති වෙයල්ලකො " කියලා.. පස්සෙ පස්සෙ තව එක දෙකෙක් හැලෙද්දි ගමන කැන්සල්.

ඔහොම ඉඳලා බැරිම තැන තව දෙන්නෙක් යන්තම් වැඩේට කැමති කරගෙන අනිත් උන්ටත් කිව්වා මෙන්න මෙදා යනව හාවාගල, එනවා නම් වරෙන්...
ඔහොම කිව්වම ඇහෙන නයි බයිලා තමයි "කලින් කිව්වා නම් එනවා නේ.. උඹලා තනියෙන් ප්ලෑන් කරලා නේ... තව දවසක් කලින් කිව්ව නම් එනවා ඕයි.."
කොහොම හරි අන්තිමේ අපි තුන්දෙනා විතරයි.
සෙනසුරාදාවක උදේ යන්න ලෑස්ති උනත් එකෙක්ට සනීප මදි නිසා ගමන දවසකට කල් ගියා..ඉතින් ඉරිදා උදේම පිටකොටුවේ සීටීබි ස්ටෑන්ඩ් එකේ බදුල්ල බස් එකක එකට යාකරපු සීට් තුනක ඉඳගෙන අපේ ගමන පටන් ගත්තා..වේල් දෙක තුනකට කෑම (කෑම කිව්වට හාල් පොල් පරිප්පු නෙවෙයි. නූඩ්ල්ස් පැකට් ටිකකුයි, පාන් රාත්තලක්, සුප් පැකට් එකක්, චොක්ලට් අරවා මේවා ) සීතලට ඇඳුමක් එක්ක අමතර ඇඳුමක් , කූඩාරම, කෑම හදාගන්න බාජනයක්, වතුර පුරවගන්න හිස් වතුර බෝතල් වලින් පිරුණු බෑග් එක්ක අපි බෙලිහුල්ඔයෙන් බහිද්දි උදේ දහය හමාරට එකොලහට වගේ..
බස් එකකින් එනවා නම් හරියටම බහින්න ඕනේ බෙලිහුල් ඔය රෙස්ට් හවුස් එක ළඟින්..කොළඹ පැත්තෙ ඉඳන් එනවා නම් රෙස්ට් හවුස් එක ළඟින් බැස්ස ගමන් පාරෙ වම් පැත්තෙන් පොඩි නැග්මකුත් එක්ක තියෙන පාරෙ තමයි ඊළඟට යන්න තියෙන්නෙ. පහුගිය කාලේ බොහොම ජනප්‍රිය වෙච්ච පහන්තුඩාව ඇල්ලට යන්න තියෙන්නෙත් මේ පාරෙන්. මෙතන ඉඳන් කිලෝමීටර් 2ක් විතර යන්නෝනෙ ඇල්ලට. මේ පාරෙ බස් එකක් වැඩ කරනවා කියලා යාලුවෙක් කියලා තිබ්බ නිසා අපි බස් එකක් ගැන විස්තරයක් අහගන්න රෙස්ට් හවුස් එක පැත්තට ගියා.

ටිකක් පරන තාලේ ගොඩනැගිල්ලක් උනත් හොඳ පිරිසිදුවට තියාගෙන ඉන්න විදියක් තමයි පේන්න තිබ්බේ. පරණ බක්කි කරත්තයක් නවත්තලා තිබුණු මිදුලේ කොනක ඉඳන් යායට වැටිලා තිබ්බ මාර කොල එක්ක ගෙවිච්ච ඉදලකින් තනියම යුද්දයක් දෙන වයසක මාමා කෙනෙක්ගෙන් අපි ඇහුවා..
අංකල් මේ උඩ පාරෙන් යන්න බස් එකක් තියෙන්නෙ කීයටද?
කකා ඉඳපු බුලත් විටේ හක්කෙ කොනකට අරන්..
"මේ දැන් වගේ එකක් යන්න ඕනේ.. "
බස් එක ගියා!
රෙස්ට් හවුස් එක ඇතුලෙන් කතාව අහන් ඉඳපු කෙනෙක් කිව්වා..
"ආයේ එකක් එන්නේ 1 ට."
අපිට දවල් වෙන්න කලින් කන්ද නගින්න තමයි හිතේ තිබ්බේ..ඒත් 1ට බස් එකේ නැගලා ගියොත් ගමන් පරක්කු වෙන නිසා අපි හිතුවේ මෙතනින්ම මොනාහරි කාලා පයින්ම ලඳුයාය ගමට ඒ කිව්වෙ අපි කන්ද නගින්න පටන් ගන්න තැනට යන්න.
බලද්දි තාම දවල් කෑම ලෑස්ති නෑ.. වෙන කන්න බොන්න දේකුත් නැති නිසා අපි ලඳුයායට යන මගින් මොනාහරි කන්න කියලා පාරට ආවා..
ඒ එද්දිම මෙන්න ලඳුයාය බස් එකක් පාරට හැරෙව්වා.. මේ තියෙන්නේ ගියා කියපු බස් එක.. දෙයියො බැලුවා වගේ..
කඩපොලවල් වලට ගිය මිනිස්සු, දහම් පාසල් ළමයි ගෙන් පිරුණු බස් එකේ සීට් තිබ්බා එහෙන් මෙහෙන් ඉඳගන්න. විනාඩි 30-40ක ගමනකින් අපි ආවා ලඳුයාය වත්තට.. එන මග දිගට පාරෙ වම් පැත්තෙන් අද රෑ අපේ නවාතැන වෙන හාවාගල කඳු මුදුන අපි දිහා බලාගෙන හිටියා. බස් එකේ ගමනාන්තයෙන් බැහැගත්තම පොඩ්ඩක් ඉස්සරහින් තියෙන්නෙ පොඩි කඩයක්.
"හාවා කන්දෙ යන්නද? අද කාන්ඩ තුන හතරක් ගියා.. " ඒ කඩේ නැන්දා
ආ එහෙනම් අපි තනියම නෙවෙයි!
කන්න බොන්න දෙයක් බැලුවම ඒ කඩේ තියෙන්නේ එළවළු හාල් පොල්.. ඉස්කෝලෙ නිවාඩු නිසා ටිකක් මෙහායින් තිබ්බ කෑම කඩේ වහලා මාසෙකට.
දැන් ඉතින් මොනවා කරන්නද.. ගෙනාපු දෙයක්වත් හදාගෙන කමු. ඒත් ඊට පස්සේ කන්නේ?
කඩේ එවෙලෙ කන දේකට කියලා තිබ්බෙ බිස්කට් එව්වා මෙව්වා..
ආ.. නූඩ්ල්ස් පැකට් ටිකක් ගමු බන්..මගින් හදාගමු..
දවල් කෑම කල් ගියේ එහෙම.
උඩ වතුර තියෙද නැන්දේ?
"ටිකක් උඩින් තියෙනවා දොල පාරක් ඒකෙන් පුරවගන්න පුලුවන්. කෝකටත් මෙහෙන් ටිකක් අරන් යන්න" "කියලා අපිට ටැප් එකක් පෙන්නුවා.
ගෙනාපු හිස් බෝතල් වලට වතුර පුරවගෙන අපි කඩේ ළඟින් පහලට වැටුණු පාර දිගේ ගමන පටන් ගත්තා..ටිකක් දුරට යනකන් පාර කොන්ක්‍රීට් කරලා...
ගමන එන්න කලින් කියවපු ලක්දසුන් ආටිකල් එකේ තිබ්බෙ මේ විදියට
• It’s better if you can carry a stock of water (2L per person) and food products. If you are going for camping you will need more.
• Can fill up water bottles from the stream. But on the top there is no water to drink.
• Wear attire as to cover your hands and legs to avoid sun burns and torn scratches.
• Start as early as possible
• Do not carry Plastic items (Minimize), Make sure you bring back everything you took.
• Need a guide if you are not familiar with the terrain.
• Use compass and map.
• Follow the footpath.
• Ask directions from locals.
• Use Leech Protection
• It would take about 3 hours from Landuyaya to get the summit.
Be ready for unpredictable weather conditions
On the top there is no water to drink කියපු නිසා අපිට වැඩිපුර වතුර ගැන හිතන්න උනා…
පාර දිගේ පොඩි දුරක් පහලට යද්දි දකුණු පැත්තට පොඩි අතුරු පාරක් ලොකු බෑවුමක් එක්ක.. ගමේ මිනිස්සු තේ වතුවලට යන පාර මේ...

"කන්දට යනවද මහත්තයා.. මෙහෙම පහලට ගියාම පාලමක් හම්බෙයි.. ඒකෙන් පස්සෙ තව එකක්.. ඒ දෙවෙනි පාලමෙන් ගොඩ වෙලා පොඩ්ඩක් උඩට යද්දි වමට පාරක් තියෙනවා.. ඒ ළඟ දළු මඩුවක් ඇති.. එතනින් කෙලින්ම ගියාම කැලෑ කුට්ටිය.. එතන ඉඳන් පාර පෑදිලා තියෙනවා. හොයාගන්න අමාරු නෑ.."
මගදි මුණගැහුණු සීයා කෙනෙක් ඔළුවේ බැඳගෙන උන්න ජටාව ගලවන ගමන් කිව්වේ අපෙන් ආරධනාවක් නැතුවමයි. සීයාට ස්තූති කරලා අපි අඩි පාර දිගේ ඉස්සරහටම ගියා.. ගමේ ලකුණු නැතිවෙලා ගිහින් පොඩි හුදකලා ගතියකට ටික ටික හුරුවෙද්දි අපි එක පාලමක් පහුකරලා දෙවෙනි එක පේන මානෙ..
පාලම පහුකලාම අඩිපාර දෙකට බෙදෙනවා..
"වම් පැත්තට යන්න මහත්තයා"
සීයා ඔලුව ඇතුලේ ඉඳන් කියනවා..
අපි වමට හැරුණා..අඩි පාර පටුයි..දොලේ ඉවුරේ වගේ තියෙන්නේ... පාර දිගේ ටිකක් ඉස්සරහට යද්දි පොඩ් කුඹුරු යායක්. ඒ මැද්දෙ පොඩි මැටි ගහපු ගෙයක්..පාර දිගටම තියෙන නිසා අපි ඉස්සරහටම ගියා.. පාර අහවර වුනේ තේ වත්තකට ඇතුල් වෙන තැනකින්..
මෙහෙම එකක් නම් තිබ්බේ නෑ බන්.. මග සලකුනු වැරදි..
ආයෙමත් ආපු පාරම ආපස්සට..වමට නොහැරී කෙලින්ම ගියා.. යනකොට මෙන්න තියෙනවා ලොකුවට පාර දෙකට බෙදිලා..


මේ තියෙන්නෙ බන්.. අපි අර ඉත්තෑවො රින්ගපු මගුලක් අස්සේ නේ රිංගලා තියෙන්නෙ...
වමට හැරිලා යද්දි දළු මඩුව..
වෙලාව 1 යි.
මඩුව ඇතුලේ ගල් තුනක් තියලා හදපු ලිපක් උඩ කේතලයක්..
මෑතකදි ලිප පත්තු කරලා කියලා තාමත් ලිපේ තිබ්බ බාගෙට පිච්චුණු දර කෑලි එක්ක අලුත් අළු සාක්කි දරද්දි අපි කේතලේ ලිපෙන් අයින් කරලා දර එහෙ මෙහෙ කරලා අලුතෙන් පොඩි සුඹුලු එකතු කරලා ලිප ඇවිලුවා..
බෝතල් වල වතුරෙන් හදාගත්තු නූඩ්ල්ස් බාජෙනේ තියෙද්දිම කාලා අහවර කරලා අපි ආයෙමත් ගමන පටන් ගත්තේ කාලගුනේ විස්වාස කරන්න අමාරු නිසා..
දළු මඩුව ගාවින් ඉස්සරහට යන පාර තියෙන්නේ තේ වත්ත මැද්දෙන්.. ටිකක් දුර ගියාම පාර කෙලවර උනේ අපි කලින් හැරිලා ගිය තැනින්මයි...!!!
එහෙනම් මේක තම පාර.. අරක ෂොර්ට් කට් එක කියලා තේ වත්ත උඩට නැග්ගා.. ඒ පාර කෙළවර උනේ තවත් දළු මඩුවකින්.. ආයෙත් පාර වැරදී... එතන තිබ්බ පොඩි දියපාරකින් බෝතල් ආයෙමත් පුරවගෙන අපි ඈත තේ දළු කඩන ඡායාවක් දිහාට ගියා..
හොඳ වෙලාවට සිංහල පුළුවන්..
"මෙහෙන් යන්න බෑ.. අර ගල් වැටිය දිගේ ගිහින් කැලෑවෙන් උඩට යන්න.. එතකොට පාර තියෙනවා.."
ඈතින් පේන තේ වත්තේ සීමාව මායිම් කරන්න හදපු ගල් බෑම්මක් පෙන්නලා අපිට කිව්වා..
ගල් බැම්ම දිගේ ගියාම කෙලවර වෙන්නේ කටු කෑලෑවකින්.. ඒ අස්සෙ වැල් බූටෑවකුත් එතිලා ... කටු කැලේට පහලින් තියෙන්නෙ සාමාන්‍ය කැලයක්..හැබැයි පත බෑවුමකුත් එක්ක...
හාවගල නගින්න ආපු තව කට්ටියකගේ සද්දේ අපිට ඇහුනේ ඒ වෙලේ.. ඒ සද්දේ ආවෙ කටු කැලේට එහායින්..
දැන් වෙන කරන්න දෙයක් නෑ නේ.. අස්සෙන් පස්සෙන් කටු පඳුරු එහෙ මෙහෙ කරන් යනකොට එකපාරටම ආයෙම තේ වත්ත.. එතනින්ම මෙන්න තියෙනවා අඩි දෙකක් ව්තර පළල ගුරු පාරක් දිලිසි දිලිසි...
සද්දේ දාපු අයත් අපි කැලෙන් එළියට එනකොටම වගේ පාර දිගේ එනවා..
"වස ලැජ්ජාව යකෝ.. මෙච්චර පාර තියාගෙනත් කැලේ අස්සේ රිංගුවා නේ.. දැන් නිකන් ෂෝර්ට් කට් එකකින් ආවා වගේ යමන්"
පාරට ඇවිත් පොඩ්ඩක් වෙලා මහන්සි ඇරියා.. දවස් ගානකින් වැහැලා නැති හින්දද කොහෙද කූඩැල්ලො නැතිම තරම්..කකුලේ එල්ලිලා ඉඳපු එකා දෙන්නත් නිකන් සෝමාරි වෙලා වගේ...
මේ පාර දිගේ පොඩ්ඩක් දුර ගියාම අපි ඇතුල් වෙන්නේ පලවෙනි කැලෑ කොටසට.. හාවාගල පින්තූරයක් බැලුවොත් පේනවා කඳු බෑවුම දිගට කෝම්පිට්ටු දෙකක් තියලා වගේ කැලෑ කොටස් දෙකක්..
අපි මේ ඇතුල් වෙන්නේ පළවෙනි කැලෑ කොටසට.. කන්දේ පාමුල ඉඳන් ටිකක් උඩට යනකන් මේ කැලෑව තියෙනවා.. කැලේට ඇතුල් වෙනකොටම ටිකක් ගැඹුරට බෑවුමක්.. එහෙන් මෙහෙන් තියෙන ගස් අල්ලගෙන පහලට බහින්න පුලුවන්..
මෙතනින් දොල පාරක් ගලාගෙන ගිය ලකුනු තිබුණත් වේලිල්ලට ඔක්කොම හිඳිලා.. යන්තම් එහෙන් මෙහෙන් එකතු කරගත්තු වතුර ටිකක් අරගෙන පොඩි දිය පාරක් ගල්වලට මුවාවෙලා පල්ලම් බහිනවා.. ආපු සමහර අය එතන ඇන තියාගෙන වතුර පුරවගන්නවා.. අපිට වතුර අහේනියක් තිබ්බෙ නැති නිසා අපි කැලේ මැද්දෙන් ඉස්සරහට ඇදුනා..

කැලේ මැද්දෙන් නම් අපූරුවට පාර තියෙනවා.. අඩි පාරක් තිබුණත් නැතත් අපේ සංචාරකයො හරි අපූරුවට බිස්කට් කොල, ටොෆි කොල, සිලි බෑග්, බීර බෝතල් වලින් කෑන් වලින් සලකුණු කරලා තිබුණා...
පලවෙනි කැලෑ කොටස ලොකු අමාරුවක් නැතුව යාගන්න පුළුවන්..කැලෙන් එළියට ආවම තියෙන්න ලා කොල පාටින් යායට පේන හරි අපූරු වටපිටාවක්.. තැනින් තැන් ෆයිනස් ගස්.. පොඩි පඳුරු එක්ක වැඩි හරියක්ම කලාඳුරු පඳුරු..
මෙතන ඉන්දන් නම් ටිකක් නැග්ම..සමහර තැන් වලින් යද්දි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ.. පහළින් අඩි ගානක් පහළට දුවගෙන යන හෙළ.. ෆයිනස් ගස් වල කූරු කූරු කොලත් එක්ක අඩිය ලිස්සනවා..අල්ලගන්න සමහර තැන්වල හරිහමන් දෙයක් නෑ..
"දැන් වෙලාව කීයට වගේද? ම්ම්ම්.. බලමු.. 2.40 ක් දාලා දෙන්නම්.."
මෙහෙම උඩට නගිද්දි අපිට කලින් සංචාර සටහනක සඳහන් වුණු ගල් තලාව හමුවෙනවා..හැබැයි කියපු සීතල වතුර පාර නම් අතුරුදහන්.. වතුර ගැන බයක් ඇති වුනේ එවෙලෙ.. කමක් නෑ තියෙන ටිකෙන් බලමු මොකක් හරි...
සමහර තැන්වල කන්ද වැඩි..සමහර තැන්වල කෝ කන්ද අහන තරමට තැන්න..
කොහොමින් හරි දෙවෙනි කැලෑ කොටසටත් එද්දි අපේ බෝතල් එකක වතුර ඉවරයි..මේ කැලෑවේ ගොඩක්ම තියෙන්නෙ වැඩිය උස නැති කරටි ඇඹරුණු ගස්.. කඳුකර වනාන්තර වල ලක්ෂණ තරමකට තියෙනවා කියන්න පුළුවන්..
මේ කැලෑවෙන් එළියට ආවම ලොකු ගල් තලාවක්... එතනින් එහාට සමහරක් තැන් වල හරියටම කියලා අඩි පාරක් නෑ.. දකුණු පැත්තෙන් පේන හාවගල මුදුන දිහා බලලා හරි මාර්ගෙට එන්න පුලුවන්..

ඇත්තටම කියනවා නම් මේ යන පාර තරමක වටයක්..කියන්න තරම් ගොඩක් බාධක් නැති වුණත් නුපුරුදු කෙනෙක්ට එහෙම නැත්නම් කඳු නගින්න අත්පොත් තියෙන කෙනෙක්ට පටන් ගන්න හොඳයි කියලා නිර්දේශ කරන්න ටිකක් අමරුයි.. කොටින්ම මේ වැස්ස අඩු කාලේ එනවා නම් පුලුවන් තරම් ආම්පන්න අඩුවෙන් ගේන එක හොඳයි.
තව ටිකක් උඩට නැගලා ආපහු හැරිලා බැලුවම පහලින් හරි ලස්සනට කඳු පන්ති පේනවා.. මේ වෙලේ ඉර අපිට පිටුපාලා කඳු අතරින් හැංගෙන්න ටික ටික ලක ලෑස්තිය..
ඉතිරිය ළඟදීම...
Comments