top of page
Search

හරිත බිම් සොයා 02

  • Writer: Raksh
    Raksh
  • Feb 14, 2018
  • 16 min read

Updated: Apr 4, 2018

කුරුල්ලා පියාඹගෙන ගිහිපු වේගෙන්ම වෙලාවත් ඉගිල්ලිලා ගිහින්... උදේ 9ත් පහුවෙලා.. තව පරක්කු උනොත් උදේ කෑම වේල නැතිවෙනවා.

පිටදෙනිය කඳවුරේ සංචාරක බංගලා 03ක් තියෙනවා කියලා මං කළින්ම කිව්වා ඔබට මතක ඇති. ඒත් මේ හැමෝටම කෑම ගන්න තියෙන්නේ එක ශාලාවයි.කෑම පිළියෙල කරන්න ඉන්නේ දෙන්නයි. ඉතින් එක එක බංගලාවල නවාතැන් ගත්තු අයට කෑමගන්න වෙන් කරපු වෙලාවල් තියෙනවා.. අපි යද්දි ඔක්කොම නෝනා මහත්තුරු කෑම අරන් ඉවරයි.

උදේ ඉඳන් බඩට වතුරවත් නැති නිසා හනි හනික බත් ටික ගිලලා පහළට ආවා. නැවතිලා ඉඳපු උදවිය ලෑස්ති වෙලා කැළේ බලන්න යන්න. කලවා වලටම හිරවුණු කොට කලිසම් ඇඳගත්තු නෝනලා, පාට පාට ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු මහත්තුරු ලඟින් යනකොට එක එක සුවඳයි.

ඔබ සතුන් නිරීක්ෂකයෙක් නම් එහෙමත් නැත්නම් ඔබට කැළේකට ගිහින් සතෙක් බලාගන්න ඕනෙනම්, මතක තියාගන්න... තද පාට ඇඳුම් පුළුවන් තරම් අඩු කරන්න.මොකද සතුන් බොහොමයක් දෙනාට හොඳ වර්ණ සංවේදීතාවක් තියෙනවා.. ඒ වගේම ඇඟ වැහෙන ඇඳුමක් උනොත් වඩා හොඳයි. විශේෂයෙන් දිග කලිසමක්.

සිංහරාජෙ කිව්වම හැමෝටම වගේ මතක් වෙන්නේ කූඩැල්ලො කිව්වොත් මං හරි. බොහොමයක් දෙනා එකපාරක් විතරක් සිංහරාජෙට යන්න හේතුවත් ඒක.ඒ නිසා කූඩැල්ලන්ගෙන් වගේම වැඩියම නැති උනත් සර්පයොන්ගෙන් බේරෙන්නත් ඔබට දිග කලිසමක් වගේම සපත්තු ජෝඩුවක් ගොඩක් වැදගත් වෙයි. හදිසියෙවත් සර්පයෙක් දෂ්ඨ කළොත්? ළඟම ඉස්පිරිතාලෙටත් හැතැක්ම ගානක්..

ඊට පස්සේ සුවඳ විළවුන්... ඔබ මේ ඇතුල් වෙන්නේ කැළෑවකට. කැළේ කිසිම සතෙක් අපෝ ඔයාගේ ගඳ කියලා කියන්නේ නෑ.. ඔබ තවරගෙන ඉන්න විළවුන් සුවඳට ඉන්න සතෙක් පවා දුවයි ඈත ගස් අතරට.අන්තිමේ ඔබට බලන්න ඉතිරි වෙන්නේ අපරාදේ මටත් මුල් තිබ්බේ නැත්නම් මාත් දුවනවා කියලා හිතින් දුක්වෙන ගස් ගොන්න විතරයි.


පරිසරයට ආදරය කරන්න එහි සුන්දරත්වය විඳින්න ඕනේ නම් ඔබටත් සිද්ද වෙනවා කැළේට අනුව හැඩ ගැහෙන්න..



කළු වඳුරො රංචුවක් ගඟේ එහා ඉවුරේ අත්තකට වෙලා පොඩ්ඩන්ගේ සෙල්ලම් බලනවා. ඉපදිලා මාසයක් දෙකක් තරමේ පැටවු අතු දිගේ එහෙ මෙහෙ දුවනවා. ඒ ගමන් අත්තේ කෙළවරේ තියෙන ළපටි දල්ලක් දෙකක් පුංචි අත්වලින් කඩාගෙන කටේ ඔබාගන්නවා. .

අත්තේ කෙළවරටම යනකොට අම්මාගෙන් පොඩි සද්දයක්. නාහෙට නාහන එකෙක් ඇර අනිත් හැම පැටියම එතනින් එහාට ගමන නවත්තලා ආපහු එනවා අම්මා ළඟට.


අපි ඉන්න තැනට ආපු සංචාරක මග පෙන්වන්නෙක්ගෙන් ලැබුණු හෝඩුවාවක් නිසා අපිත් ලෑස්ති වුනා වනගත වෙන්න.


" අද නම් ගිං ගඟ එකට කට්ටියක් එයි. අද මගේ එකේ ඉමු"

අපි සූදානම් වෙනකොට අපේ මිත්‍රයා කිව්වා.


එහෙනම් අද ඉඳන් අපි අලුත් ගෙදරක!


ඇතුලේ තිබුණු අපේ බඩු මුට්ටු ඔක්කොම කරතියාගෙන අපිට ඊයේ දවසෙ සෙවණක් වෙච්ච සුන්දර ගිං ගඟ නිවහනට ආයුබෝවන් කියලා අපි ආවා නිළධාරී බංගලාවට.

මහත ලී කණු උඩ තනිකරම ලීයෙන් හදපු පුංචි ගෙදරක් ඒක.


අලුත් ගෙදරින් බඩු තියලා අපි පිටත් උනා කැළේ ඇතුලටම යන්න. කළින් දවසේ අපි ඇවිදගෙන ආපු පාරෙන්ම අපි ආම්පන්න ටිකත් අරගෙන යන්නේ මේ කවුඩා ඉන්නවා කියලා ආරංචි උනු ඉසව්වට.කළින් දවසේ මේ පාරෙන්ම ආවත් අතින් කටින් උස්සගෙන ආපු නිසා දැන් තමයි අපි ඇත්තටම කැළෑව බලන්නේ.. වැසි වනාන්තරයකට උරුමකම් කියන ගති ලක්ෂණ කිසිම අඩුවක් නැතුව තිබුණත්, කුඩව පැත්තෙන් බලපු සිංහරාජෙට වඩා තරමක් වෙනස්. ගස් ගැන ලොකු දැනුමක් නැති උනත් මේ තියෙන ගස් විශේෂ තරමක් වෙනස්දෝ කියලා හිතට දැණුනා.


දිගටම අඩිපාර දිගේ යද්දි හමුවෙනවා තුංමං හන්දියක් එතනින් දකුණට හැරිලා ගියාම තමයි මේ කුරුල්ලා ඉන්නවා කියපු ඉසව්වට යන්න පුළුවන්. හැරිලා ගිහිල්ලා අපි උත්සාහ කලා පැයක් විතර... කවුඩාගේ හඬක් වත් නෑ..

ආයෙමත් ප්‍රධාන අඩි පාර දිගේ කිලෝමීටර් බාගයක් විතර ඇවිද්දා..

අඩි 25ක් විතර උස අත්තක කැහිබෙල්ලො ජෝඩුවක්. කතාවක් තියෙනවා සිංහරාජෙ ඇවිත් කැහිබෙල්ලෙක් දැක්කේ නැත්නම් වැඩක් නෑ කියලා.. ඒ තරම් කැහිබෙල්ලා සුලබයි. රතු දුඹුරු පාටට හුරු හිස කොටසත්, නිල් පාට සිරුර හා පියාපත් වගේම පෙඳයේ කෙළවරට වෙන්න තියෙන සුදු පාට ලපය නිසා බොහොම පහසුවෙන් මේ කුරුල්ලාව අඳුන ගන්න පුළුවන්.


වැහි පොද එක දෙක වැටෙන්න පටන් ගත්ත නිසා අපි ආපහු හැරුණා.. වෙලාව දවල් 12:30 වුණත් ගස් ගොන්නයි වැහි බීරුමයි එක්ක කැළේ ඇතුල හරියට හවස 5-6 වගේ.. අපි නවාතැනට එනකොටම වගේ වැස්ස තද කලා..වැස්සෙන් බේරෙන්න හනි හනික වහලක් යටට රිංගලා කකුළ දිගේ උඩට ඇවිත් කලිසම් වාටි වලට වෙලා අපේ ලේ රහ බලන කූඩැල්ලො ගලවන එක තමයි ඊළඟ කාරිය. ගලවලා විසි කරන කූඩැල්ලො වැහි බිංදු වැටෙන කබොක් ගල් පතුරු උඩට වෙලා ආයෙමත් කුරුමාණම් අල්ලනවා..

ගස් වලට වැටෙන වැහි බිංදු කොලෙන් කොලේට පැනලා අපි ඉන්න තැනට එන්නේ හිරිකඩ වෙලා..



මල්ලිලා කමු..


අපිට දවල් කෑම ලෑස්තිලු. වැස්ස මැද්දෙන්ම අඩියට දෙකට දුවලා කෑම කාල එද්දි වැස්ස ගොඩක් දුරට පායලා.. හදිස්සියෙම කඩන් වැටුණු වැස්සට ගස් හෙවනට වෙලා ඉඳපු කුරුල්ලො ආයෙමත් එළියට ඇවිත්. සමහරු වේලුණු අත්තක් උඩට ඇවිත් ඇඟේ වතුර ගසනවා.. පුළුන් බෝල වගේ වෙන ගානට.


හවසත් කොහොම වෙයිද දන්නේ නෑ වැස්ස..

අපි අද මේ කිට්ටුවම බලමු...

අපි කතා වුණා..


හවස 4ට විතර ආයෙමත් ලෑස්ති වුණේ නෙට් එක අටවන්න.. ගිං ගඟ නිවහන ළඟ ගස් වල කවුඩා කෑගහන සද්දෙට අපි ඒ කිට්ටුව ගස් නෙට් එක දාගෙන බලන් හිටියේ කොයි මොහොතක හරි කවුඩෙක් එයි කියන අදහසින්..


අපි හැංගිලා ඉඳපු තැන ඉස්සරහ ගහේ බෙනයක්.. බෙනේ ඇතුලෙන් පුංචි ඔලුවක් එලියට දාලා ක්‍රෑක්! ගෑවා.. කොහේදෝ ඉඳන් ආපු ගිරව් හතර දෙනෙක් අපි ඉස්සරහ.. මේ ගිරවු අපි නිතර දකින ගිරවුන්ට වඩා ලොකුයි.. ඒ වගේම දිගයි... මෙයාල තමා ලබු ගිරව්. ලංකාව ඉන්න ලොකුම ගිරව් විශේෂය. පියාපතේ උරහිසට ළංවෙන්න තියෙන රතුපාට ලපේ මෙයාලගේ ගැහැනු පිරිමි දෙපාර්ශවයටම පොදුයි..


ඇඳිරි වැටෙන්න ඔන්න මෙන්න තියලා වාසනාවන්තයෙක්!




කළුවරේම දැලත් අකුලගෙන අරන් ගියා අලුත් නිවහනට..

මල්ලෙන් එළියට ගත්ත කුරුල්ලා තරමක් සංසුන් කිව්වට මෙයා නම් සංසුන් නෑ.. ගොඩක් දුරට මේ පිරිමි සතෙක් වෙන්න ඕනේ.. මොකද ගොඩක්ම ප්‍රචණ්ඩ පිරිමි සත්තු.. ගොඩක් රෑ වෙනකම් කුරුල්ලව තියාගෙන ඉන්න බැරි නිසා ඉක්මනින්ම මිනුම් ටික අරගෙන කුරුල්ලව නිදහස් කලා..


සාර්ථක දවසක්!


එදා රෑ ගෙවුණේ පුංචි ලී ගෙදර.

බිත්ති, බිම පවා ලෑලි වලින්..


රෑ නින්ද යනකම් ගිං ගඟ හරි අපූරුවට එයාගේ මුණු මුණු හඬින් නැළවිලි ගීත කිව්වා..


තද සීතලකින් කකුල් දෙකම හිරි වැටෙනකොට මං ඇහැරුණා..පොරවන් ඉඳපු රෙද්ද පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා.. වෙලාව කීයද...


පාන්දර හතර හමාරයි..


අපි ආයෙමත් හයට වගේ යන්නෙපැයි..

නිදාගන්න වෙලාවක් නෑ..


දොරත් හිමීට ඇරගෙන එළියට ආවා.. ඇතුල වගේ දෙගුණයක් සීතලයි එලියෙ..එකපාරටම ආපු හුළඟක් ඒ සීතල තවත් වැඩි කලේ බෙල්ලේ හිරිගඩු පිපෙණ ගානට.. දොර ළඟම තියෙන ලී පුටුවකට වෙලා ගඟ ගලනවා අහන් ඉන්න මීටත් වඩා වෙලාවක් කොයින්ද...


ලා හඳ එළියක් නිසා ගඟේ දිය රැළි පේනවා යාන්තමට වගේ.. ඒක සුදු පාටක්ද නැත්නම් කහ පාටක්ද.... මගේ ඇස් ගොඩක් වෙලා වලි කෑවා.. අන්තිමේ ඒ සුදු පාටක් තමා කියලා ඒකමතිකව පිලිගන්න උනා..


ඉඳල හිටලා කැළේ ඈත කොනෙන් ඇහෙන සද්ද හරියටම අඳුනගන්න බැරි වුණත් අලුත් දවසක් ළඟ ළඟම එනව කියලා කියන්න ඒ හොඳටම ඇති.. ඉර පායන්න කළින් එන ආලෝකය එහෙමත් නැත්නම් අරුණෝදය තරමක් නිල් පාටයි.. උදෙන් නැගිටින අයට නම් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ..


ඒ ලා එළියෙන් මුළින්ම පේන්න ගන්නේ ගස් වල මුදුන් උඩ කම්මැලිකමෙන් ලැගලා ඉන්න මීදුම.. ඊට පස්සේ ගස් පේළියට උඩින් එන ලා තැඹිලි පාට එළියෙන් අහසයි පොලොවයි වෙන් කරනවා...

මේ තමයි ඉර නැගෙන වෙලාව... සමහර කුරුල්ලො ඉරටත් කලින් නැගිටලා බලන් ඉන්නේ කොයි වෙලේද ඉර පායන්නෙ කියලා..


ටිකින් ටික ඉර කැළේ අස්සෙන් එළියට එනවා.. ඒ රත්තරං පාට එලියට රැයක් පුරා නිදාන උන්නු ගස් ගොන්න ඇහැරිලා ..


ඒත් එක්කම මීදුම යන්න බෑ බෑ කිය කිය වගේ බොහොම හෙමින් ගස් වියනේ ඉඳන් උඩට එනවා..

එහෙම එන මීදුමට ඉර එළිය වැටෙන හැටි!

ඒක වෙනම ලෝකයක්..


ඉතින් අලුත් දවසට ආයුබෝවන් කියන ගමන් අපිත් ලෑස්ති වුණා..

දුම් දාන තේ කෝප්පයක් අතේ තියාගෙන ගඟ ට උඩින් එල්ලෙන ලී පාලමෙන් පහලට කකුල් දෙකත් දාගෙන මීදුම අස්සෙන් හැංගෙන මතුවෙන කැලෑව දිහා බලාගෙන ඉන්නකොට දැනෙන හැඟීම අකුරු කරන්න අමාරුයි..



ඉලෙක්ට්‍රොනික ලෝකයෙන් මිදිලා මේ වගේ දර්ශනයක් රසවිඳින්න ඔබටත් දවසක් ඒවි.

උදේ හුළඟට තාලෙට පැද්දෙන ගස් අස්සෙන් ඉර එළිය තීරු තීරු ගඟේ ගිලෙද්දි අපි උදේ කෑම ගන්න ආවා..

ලුණුමිරිස් එක්ක කිරිබත්!


කාලා බීලා එද්දි දවල්ට බත් මුල් තුනකුත් බැඳලා.. ගෙදර වගේ සැලකිලි... නෑ ඇත්තටම ගෙදරටත් වඩා..


කොහොමත් මගදි වැස්සක් බලාපොරොත්තුවෙන් කුඩ, රේන්කෝට් අරගෙන අපි පිටත් වුණා. අද යන්නෙ අපි කැලේට ඇතුල් වුණු ඉසව්වට.. ඒ කිව්වේ ප්‍රවේශ පත්‍ර කාර්යාලෙ පැත්තට... පාලමෙන් එගොඩ වෙද්දිම අපිට මුණගැහුණා සංචාරක කණ්ඩායමක්.. තව පොඩ්ඩකින් තව කණ්ඩායමක්,. අද දෙසැම්බර් 23 වෙනිදා. සෙනසුරාදා දවසක්.. ඒකයි මෙච්චර සෙනඟ..

කිලෝමීටර භාගයක් විතර යනකන් කවුඩෙක්ගෙ සද්දයක්වත් නෑ..ටික වෙලාවකින් ඈතින් කවුඩො කෑගහනවා ඇහුනා.. විනාඩි දහයක් විතර ප්ලේබැක් කලත් අපි ඉන්න කිට්ටුවට කවුඩෙක් ගෙන්නගන්න අපි සමත් වුනේ නෑ..ආයෙමත් තව ටික දුරක් ගිහින් උත්සාහ කරලා බලන්න අපි ඉස්සරහට ගියා...


පාරේ අයිනෙ තිබ්බ රූස්ස ගහක් උඩ ලොකු කලබලයක්.. වඳුරො රංචුවක්..

බලන්න තරම් විශේෂ දෙයක් නැති නිසා අපි ඉස්සරහට ගියත් සංජය අය්යා තාම උඩ බලන්.. අපි ආයෙම ආපස්සට ආවා. ගස් දෙබලක් උඩ සුදුපාට ගුලියක්.. දිග වලිගෙකුත් එක්ක..


මේ තමයි ඇලි වඳුරො.. ජාන විකෘතියක් නිසා මෙහෙම වෙන්න ඇති කියලයි දැනට විශ්වාස කරන්නේ.. තවත් හොඳට බලද්දි මේ වඳුරා ළඟ පොඩි පැටියෙකුත්.. ඌත් සුදු පාටයි.. ඒත් මේ දෙන්නත් කලු වඳුරු රංචුව එක්කම තමා ගමන. එකම රැළේ...


අපි උඩ බලන් ඉද්දි එතනින් ගිය මෝටර් සයිකලේක සද්දෙට රංචුව කැලේ ඈතට ඇදිලා ගියා.


රක්ෂිත වනාන්තරයක් වුණත් මේ කැලේ මායිමෙන් වැටිලා තියෙන්න ගංසබා පාරක්.. ලංකාගමට යන්න තියෙන කෙටිම පාර මේ.. ඒක නිසා ගමේ මිනිස්සු කඩපොළට යන්නේ මේ පාරෙන්.. පයින් වගේම මෝටර් සයිකල් වලින්.. සමහර වෙලාවට ලොකු ඝෝෂාවකුත් එක්ක.. කැලේ ජීවිත් වලට නම් මේක ලොකු බාධාවක්.. ඒත් කිසිම ආණ්ඩුවකින් මේ ගැන සැලකිලිමත් නෑ..කීප විටක් ලොකු ලොක්කො දැනුවත් කලත් කනකට ගන්නෙ නෑ කියල තමයි අපිට නිළධාරීන් කිව්වේ.



ඉතින් අපි හෙමි හෙමින් ප්‍රවේශපත්‍ර දෙන් තැනටම ආවා. මගදි එක එක කුරුල්ලො දැක්කත් අපිට ඕනෙ සතා නෑ..


වැසි වනාන්තරයක බොහොම සුලබ ඒ වගේම වෙලාවකට එපාවෙන විදියට කෑගහන කුරුල්ලෙක් ඉන්නවා. ශ්‍රී ලංකා කහ මුහුණත් කොට්ටෝරුවා..අපි ගෙදර දකින කොට්ටෝරුවට වඩා පොඩ්ඩක් පොඩියි.හොටයට ඉහලින් තියෙන කහ පාට පැල්ලමයි ඇහැ වටේ ඉඳන් මුහුණෙ යටටම පැතිරුණු නිල් පාට පැල්ලමයි තමා මේ කුරුල්ලගේ දකින්න පුලුවන් විශේෂ ලක්ෂණ.ගඟට නැවුණු දිරපු ගහක බෙනයක් හාරන සද්දෙන් තමා අපි මෙයාව හොයාගත්තෙ.


කාර්යාලෙ ළගත් ගොඩක් වෙලා උත්සාහ කරලත් බැරි තැන අපි තවත් කැලේ ඇතුලට යන්න තීරණය කලා. අඩි පාරෙන් ටික දුරක් ඇවිත් කැලේ ඇතුලට යන්න තැනක් හොයනකොට කොහෙන්දෝ ඉඳන් ආපු වැස්සක්. රේන් කෝට්, කුඩ යටට වෙලා පොඩ්ඩක් හිටියෙ වැස්ස ඉක්මනට තුරල් කරයි කියලා හිතාගෙන. හිතුවා වගේම වැස්ස විනාඩි දහෙයෙන් විතර ඉවරයි.


මෙතනින් පොඩි දිය පාරකුත් ගලන් යනවා. කැලේ ඇතුලෙ වතුර කොහොම වෙයිද දන්නෙ නෑ කියලා හිතුණ නිසා අපි මෙතනදිම දවල් කෑම එකත් අරන් බෝතල් වලට වතුර පුරවාගත්තා.


ගල් දෙබොක්කාවක් මැද්දෙන් උඩට තිබ්බ පොඩි අඩි පාරකට අපි ඇතුල් වුනේ අපි ඉන්න තැන GPS ඛණ්ඩාංක සලකුණු කරගෙන.. මොකද හරියට අඩිපාරක් නෑ.. ඉස්සරහට කැලේ කොහොම වෙයිද දන්නෙත් නෑ..


ටිකෙන් ටික කැලේ ඇතුළට යද්දි කළුවර වැඩි.. තදට ඇහිරුණු වියන නිසා පොළොවට ඉර එළිය වැටෙන්නෙ ගොඩක් අඩුවෙන්. ඒ නිසා යටි වගාවත් දුර්වලයි.. කීප සැරයක්ම කළු කොන්ඩයො කවුඩාගේ සද්දෙ කියලා අපිව මුලාකලා.. ගොඩක් හුරුකරපු කන් දෙකක් වුණත් සමහර වෙලාවට රැවටෙන්න පුළුවන්.


ලොකු කඳු බෑවුමක් දිගේ අපි ඉහළට ගමන් කලා..

වෙලාව කීයද?

1.40යි.


අම්මටසිරි මං හිතුවෙ 3 වත් වෙලා ඇති කියලා..


තවත් ඉහළට ගියාම තැනිතලා බිමක්. අපි එතන නැවතිලා ප්ලේබැක් කලා ආයෙ...

වැඩක් නෑ.. කුරුල්ලො ඉන්නෙ ඈත..

තව ටිකක් ගිහින් බලමු.


තැනිතලාවෙන් වමට හැරුණම පොඩ්ඩක් ඝණ කැලෑ ගතිය අඩුයි.. කැලේ ඝණ වුණාමත් ප්‍රශ්ණේ.. දැල අටවන්න ඉඩ නෑ...

ඒ නිසා වමට යන්න පටන් ගත්තා.. ටික දුරක් යද්දි ගස් තැළිලා පොඩිවෙලා හැදුණු පොඩි අඩිපාරක්.. ඒ කියන්නේ මිනිස්සු මේ හරියෙත් යනවා.. අපි ඒ පාරෙන් ඉස්සරහට යන්න ගත්තා..


වේලිලා වැටුණු කොල තට්ටු වල තොග විදියට කූඩැල්ලො.. සමහර තැන් වලින් අඩිය තියද්දි බූට් එකේ දහයක් පහළොවක් විතර එල්ලෙනවා එක පාර.. කූඩැල්ලො ගලවන්න නැවතුණොත් තව එල්ලෙනවා වැඩි. ඒ නිසා පොඩ්ඩක් ඉර එලිය වැටෙන තැනකදි තමා ගලවන්න වෙන්නේ.. හැබැයි ඒ වෙද්දි කූඩැල්ලො ඉන්නේ බෙල්ලෙ, මූණේ.... සමහරවිට ඔබේ කණට පිටිපස්සෙන්...


මේ වෙනකොට කූඩැල්ලො නම් සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බේ.. ඒ නිසා වැඩිය ගණන් ගත්තෙ නැති වුණත් ඉඳලා හිටලා කලිසම අස්සෙන් පොඩි හීතලක් දැනෙද්දි නම් ගනන් ගන්න වෙනවා..


ටිකෙන් ටික ඉස්සරහට යද්දි ලොකු ගස් ඔක්කොම වගේ අඩුවෙලා... හොඳට එලියයි.. අපි මේ ඇවිල්ලා තියෙන්නේ කන්දෙ මුදුනට.. තණකොළ වල එල්ලි එල්ලි උඩට නැග්ගා..


මෙන්න හේනක් කැලේ මැද..


පස්සේ දැනගත්ත විදියට මේවා පෞද්ගලික ඉඩම් ලු..

කොහොමින් කොහොමින් හරි වැඩේ අසාර්ථකයි..


අපි ආපහු පල්ලම් බැස්සා.. නවාතැනට එද්දි ටිකක් හවස් වෙලා.. බඩු මුට්ටු ටික සිමෙන්ති පඩියක් උඩ තියලා කූඩැල්ලො ගලවන්න පටන් ගත්තා.. බූට් ගලවද්දි මේස් වල තැන් තැන් කලු පාටයි.. ලේ !


පොකුරු පිටින් කූඩැල්ලො..



ඔක්කොම ගලවලා ඉවර වෙද්දි කකුල් වල තැන් දහයකින් විතර ලේ ගලාගෙන එනවා.. ලේ නවත්තන්න ක්‍රම ගොඩක් තියෙනවා.. ඒත් මේ වෙලාවෙ තිබ්බ එකම විදිය අළු ගාන එක..පත්තර කොලයක් පුච්චලා ඒ අළු ගෑවම ලේ ටිකක් විතර නවතිනවා.. පැය බාගයක් විතර මේ වැඩේට ගතවුණා..





දවස් ගානක් ගිං ගඟ අයිනෙම හිටියත් අපිට නාගන්න උනේ නෑ.. එක්කො වැස්ස.. නැත්නම් කලින් දවසෙ වැහැපු වැස්සට ගඟ බොර වෙලා..

අදත් වතුර ටිකක් බොරයි.. ඒත් ගඟේ ටික දුරක් පහළට ගියාම කැලේ මැද්දෙන් එන අතු ගංගාවක් එකතු වෙනවා.. මේ අතු ගංගාවෙ වතුර නම් කලු පාටට තිබ්බා.. ගංගා දෙක එකතු වෙලා මීටර් කීපයක් යනකම් කිරි පාට වතුරයි කලු පාට වතුරයි මිශ්‍ර නොවී ගලාගෙන යනවා හරි අපූරුවට බලාගන්න පුළුවන්.


අදවත් ගඟෙන් නාගමු.

අපි ගියා නාන්න.. පාලමෙන් එගොඩ වෙලා ගම පැත්තට තියෙන පාරෙ.. ඒ කියන්නෙ වමට. ගියාම තමයි අතු ගඟ හමුවෙන්නේ.. අ පි යද්දිත් කැලේ බලන්න ආපු අය ගොඩක් ගඟට බැහැලා..


අපි තව ඉස්සරහට ගියා.. යන පාරෙ දෙපැත්තෙ තියෙන ගස් වල අඩි 20-25 ක් විතර උඩට යනකම් මඩ පාටයි..කොළ වල වුණත් මඩ තට්ටු බලාගන්න පුලුවන්. ඒ කියන්නේ ගංවතුර කාලෙට මේ තමා ගංවතුර මට්ටම..


අන්තිමේ අපිට හමුවුණා වැඩිය සෙනග නැති ඉසව්වක්..මේ හරියෙ ගඟ ගලන්නෙ ගල්පර ගොඩක් අතරින් .




වතුර සැරටම මැදිලා ඔපවැටුණු ගල්, ලොකු ගල්පතුරු වල ඇතුළටම හෑරුණු වලවල් අතරින් සුදුපාට පෙනකැටිත් අරන් ගඟ ගලනවා..

දවස් ගානක මහන්සිය හීතල වතුරත් එක්ක මකලා දාන්න අපිට පැයක් හමාරක් යන්න ඇති.


කැලේ ජීවිතෙත් මරු නේද?

මරු නේන්නම්..

සමහර අයට නම් මේක මාර කට්ටක්..තවත් කෙනෙක්ට අනුව පිස්සු වැඩක්..

මං දන්නෑ.. ඒක එක එක්කෙනාගේ දකින විදිය අනුව තමා..

කොහොමහරි මට අනුව නම් මේක තමා ජීවිතය විඳීම..


සංජය අයියා සහ ජූඩ් ගෙන් ඇහුවත් මේ උත්තරේම ලැබෙයි..සමහර විට මීට වඩා ලුණු ඇඹුල් ඇතුව..



අපි නාගෙන එද්දි අපේ මිත්‍රයා නිවහනේ නෑ.. අද බංගලා තුනම පිරිලා ලු.. ඉතින් වැඩ රාජකාරී එහෙම ඇති හොඳට..


ඉර අවරට යන්න පැයක් විතර තියල අපි ආයෙම දැල් ඇටෙව්වා අපේ නවාතැන කිට්ටුවෙන්ම.. මේ පාර අලුත්ම තැනක.. එල්ලෙන පාලම උඩ..



පාලමේ යකඩ කූරු වලට තියලා හොද හයියට දැල අටවන්න වුනේ හුළඟට පැද්දෙන නිසා..


ඇයි අපි මේ වගේ තැනක දැලක් අටවන්න හිතුවෙ?


හවස් වෙනකොට කුරුල්ලො රංචු පිටින් ආපහු කැදලි වලට යනවා.. ඒ බොහොමයක් දෙනා මේ පාලම ළඟින් යන්නේ ගොඩක් පහතින්.. ඒ අතර කවුඩෙක් ඉන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන් තමයි අපි මේ ඉන්නේ.. අනික දවස් දෙකක්ම පාලම ළඟ ගස්වල අපිට කවුඩො නිරීක්ෂණය වෙලා තිබ්බේ..


ගත්වුනේ පොඩි වෙලාවයි.. කවුඩො තුන්දෙනෙක් අපි ළඟම.. හැබැයි මේ අපි ගමේ දකින කවුඩො.. කුස ඇලි කවුඩො..


මෙයාලත් අපේ පරීක්ෂණයට අදාලයි... තුන් හතර වතාවක්ම දැල ගාවින්ම ගියත් දැල හරහා යන්න වාසනාවන්තයෙක් හිටියෙ නෑ...

ඉතින් අපි දැලත් එක්කම බලාපොරොත්තුත් අකුලගෙන එන්න හදද්දි කැලේ ඇතුලෙන් ආරාධනාවක්!


තුන්දෙනාම එක පිම්මට හඬ ඇහුණු ඉසව්වට..


ප්ලේබැක් කලා විතරයි සිළු කවුඩො ජෝඩුවක් අපි ළග...

විනාඩියක් යන්නත් කළින් දැල ඉහළට එසවුණා.. ගංසබා පාර හරහට..

ඒ වෙද්දි ඉරේ අන්තිම එළිය බිංදුව විතරයි..


වැඩි වෙලා උත්සාහ කරන්න වුනේ නෑ... කවුඩො දෙන්නම දැලේ..


කලබලෙන් ආවට ගෙනත් තියෙන්නෙ එක අඳුරු මල්ලයි.. ඒත් මෙතන කුරුල්ලො දෙන්නයි.. දැන් මොකද කරන්නෙ...


ඇඳන් ඉඳපු ටී ෂර්ට් එකක් ගලවලා එක පැත්තක් ගැට ගැහුවා.. මේ තියෙන්නෙ..


කුරුල්ලො දෙන්නවත් අරන් නවාතැනට ආවේ කලුවරේම.

ඇවිත් ටෝච් එළියෙන්ම දෙන්නගේ අවශ්‍ය දත්ත ටික අරන් පිටත් කලා... අපේ මිත්‍රයත් එකතු වුණා අපේ මේ වැඩේට..

ඔහුටත් මේක අළුත්ම අත්දැකීමක්..


මෙච්චර කැලේ හිටියට මෙහෙම ළඟට දකින්න හම්බෙන්නේ නෑ නෙහ්..

ඒ ඔහුගේ වචන..


ඉතින් උදේ ඉඳන් අසාර්ථක දවසක් දවස් අන්තිමේ සාර්ථක වුණා...



"එහෙනම් මිත්‍රවරුණි අපිට හෙට යන්න පුලුවන්.."

සංජය අයියගෙන් නිල නිවේදනයක්!


ඉතින් අද තමයි මේ හරි අපූරු නවාතැනේ ඉන්න අන්තිම රාත්‍රිය.. හෙට උදේ පිටත් වෙන්න තමයි අපේ බලාපොරොත්තුව.. එදා රෑ හරිම අපූරු රාත්‍රියක් වුණා.. බංගලා තුනේම නිවැසියන්ගේ ඕනෑ එපාකම් බලන අපේ මිත්‍රයත්, හැමොටම කටට රහට කෑම හදලා දෙන තරුණයො දෙන්නත් එක්ක රෑ මැදියම වෙනකන් සතුටු සාමීචියේ යෙදෙන්න අපිට පුළුවන් වුනා.. අපි වගේ නෙවෙයි හැමදාම කැලේ කොලේ එක්ක ජීවත් වෙන මේ මිනිස්සුන්ගේ ජීවිත, හිතන පතන විදිය අනිත් මිනිස්සුත් එක්ක සසඳලා බලද්දි හරිම වෙනස්, හරිම අර්ථවත්...


පහුවදාට එළිවුනේ වෙනදටත් වඩා කලියෙන්.. උදේම යන්න හදිස්සියක් නැති නිසා අපි ගියා හබන් කුකුල්ලු බලන්න... සාමන්‍යයෙන් හබන් කුකුලා බොහොම කුලෑටි සතෙක්..මිනිස්සු පේන මානෙක ඉන්නෙ නෑ... ඒත් අපිට කෑම හැදෙන කුස්සියට එහා පැත්තෙ අපද්‍රව්‍ය දාන තැනට හබන් කුකුල්ලු පුරුදු වෙලා... උදෙන්ම ගියොත් බලාගන්න පුලුවන්..


අපි යද්දිත් පරක්කු වැඩි..

යාන්තමට පඳුරු අතරින් හබන් කිකිළියෙක් වගේ දැක්කත් හරියටම විශ්වාසයක් නෑ...


කොහොමින් කොහොමින් හරි අපි පිටත් වෙන්න හිත හදාගද්දි 11ටත් කිට්ටුයි.. අපිට දවස් තුනක් තිස්සේ නවාතැන් සපයපු සුන්දර නවාතැන්, හොඳ හිතක් තියෙන මිනිස්සු දාලා යන්න බෑ බෑ වගේ හැඟීමක් හැමෝටම දැනිලා තිබුණා..


පිටත් වෙන්න ලෑස්ති වෙලා අපිට බඩගින්න අහලකටවත් එන්න නොදීපු අයට දීපු පුංචි සන්තෝසමත් එපා කිව්වෙ ආයෙ මේ පැත්තෙ එන්නකො කියන කාරුණික ආරාධනයක් එක්ක....


අපිට තමන්ගේ නවාතැනත් දීලා පුදුම විදියට සහය වුණු අපේ මිත්‍ර නිළධාරියට සමුදෙන්න වෙලාව ඇවිත්.. ඔහුගේ කාර්යාලෙදි අපි හමුවුණා.. පුළුවන් උපරිමෙන් ඔහුට ස්තූති කරලා අපේ ළඟ තිබුණු කොටගම සර්ගේ ශ්‍රි ලංකාවේ කුරුල්ලො අත්පොතක් තෑගි කලේ අපිට ඒ වෙලේ දෙන්න පුලුවන් වටිනාම දේ විදියට.බොහොම ලෙන්ගතු හිනාවකින් අපිට සමුදුන්න එතුමා අපිට නැවත දවසක එන්න කියලා ආරධනාවකුත් කලා..


කොහොමහරි ආයේ මෙහෙ එනවා කියලා හිතාගෙන තමා අපි පිටත් වුනේ.. ප්‍රධාන ගේට්ටුව ළඟ ඉඳන් තුන් රෝද රියක සහයෙන් අපි මෙදේරිපිටියට ආවා.. එද්දි 11:30ට තිබුණු බස් එක ඈතින් යනවා පේනවා.. රෝද තුනෙන්ම ගිහින් රෝද හතර නවත්තගන්න අපිට පුළුවන් වුණා..


දෙනියාය 3ක්!


දෙනියාය බස් නැවතුමෙන් අපි බැහැගත්තා. අපි දැන් යන්න හදන්නේ...


කොළඹ!


නෑ නෑ... දැන් යන්න හදන්නේ සිංහරාජෙම තවත් පැත්තකට.. සිංහරාජෙ නැගෙනහිර මායිමට , එහෙමත් නැත්නම් මෝර්නින් සයිඩ් යන්න තමා අපි මේ ලෑස්ති වෙන්නෙ.. දවසේ මුල්ම හිරු කිරණ එන නැගෙනහිර මායිමේ පිහිටලා තියෙන නිසාත්, ඇතුල්වෙන්නෙ තියෙන්නේ මෝර්නින් සයිඩ් කියලා නම වැටුණු වතු යායක් හරහා නිසාත් සිංහරාජයේ මේ කොටසට මේ නම ලැබිලා තියෙනවා..


දෙනියාය ටවුමෙන් ඝණ ඉටිකොල යාර තුනකුත් මගට කෑමට දේවල් දෙක තුනකුයි අරන් අපි රත්නපුර-දෙනියාය බස් එකකට ගොඩ වුනා..

මිනිස්සු කන්න වගේ බලනවා..

තඩි බෑග් තුනකුත් උස්සගෙන, තව ලොරි බාගෙක බඩුත් අරන් මොක්කුද මේ කියලා...


දෙනියායේ ඉඳන් කිලෝමීටර් 80ක් එහායින් තමා මෝර්නින් සයිඩ් වලට යනවා නම් බහින්න ඕනේ.. ඒ ඉත්තකන්දෙන්..

බස් එක් ඩ්‍රයිවර් උන්නැහේ කිව්ව විදියට ඒ පාර තමා ළඟ...

එහෙම නැත්නම් සූරියකන්දෙන් බැහැලා යන්න ඕනේ..

ළඟ පාර කෝකටත් හොඳයි කියලා ඉත්ත්කන්දට ටිකට් ගත්තා...


පැය දෙකක් විතර කඳු මැද්දෙන් ගිහින් ඉත්තකන්දට එද්දි හවස 3.20යි.. අහස දිහා එක එල්ලේ බලන් ඉන්න කඳු යායවල්... වලාකුළු අස්සේ ඔලුව හංගහෙන ඉන්න උසම උස කන්දු.....කඳු ගැට අතරෙන් එකයායට පේන කොලපාට සානු.... ඒ වගේම සරුවට වැඩුණු තේ වතු මැද්දෙන් ගිය ගමන කම්මැලි නීරස එකක් නම් වුනේ නෑ.. මිනිහෙක් ගෙයක් දොරක් දැක්කෙ හරිම කලාතුරකින්..ඒ තරමට ඒ පැති ජනශූන්‍යයි..


ඉත්තකන්දෙන් බැහැලා කඩමණ්ඩියක් හොයාගෙන ගියේ කන්න බොන්න දේවල් ටිකක් ගන්න.. දැන් ගිහින් කොහේ ඉන්න වෙයිද දන්නෙ නෑ නෙහ්..

බිස්කට් පැකට් ටිකක්, චීස් පෙට්ටියක්, ඉටිපන්දම්, භූමිතෙල් බාගයක් එක්ක බුලත් විට දෙක තුනකුත් ගත්තෙ වෙනසකටත් එක්ක...


කෑම ගැන වැඩිය කරදර නොවුනේ පිටදෙනියෙදි කන්න කියලා ගෙනාපු පාන් එක්ක නූඩ්ල්ස් පැකට් එහෙමම තිබුණු නිසා..


ඉත්තකන්දෙ ජනගහනය ගත්තම හරි අඩක් සිංහල හරි අඩක් දෙමළ වගේ..

"මෝර්නින් සයිඩ් කෑම්ප් එකට යන්න කොච්චර දුරද මාමා?"


වැඩිය දුර නෑ..කිලෝමීටර 2-3ක් ඇති මයෙ හිතේ..


වාහනයක් හයර් කරනවා නම් කීයක් වෙයිද?


ඒකට උත්තරේ හම්බුණේ ගෝල්ඩ්ලීෆ් එකක් උර උර ළඟ ඉඳපු කොල්ලෙක්ගෙන්..

ඩිමෝ බට්ටෙක් ඉන්නවා හයදාහයි..


නෑ එපා අපි පයින් යන්නම්..

අලුතෙන් එකතුවුණු බඩු ටිකත් බෑග් වල දාගෙන අපි ගමන පටන්ගත්තා.. පොඩි ගමක් මැද්දෙන් තමයි යන පාර වැටිලා තිබ්බේ.. ගමන් පටන් ගත්ත තැන ඉඳලම තරමක නැග්මක් එක්ක කන්දක්...කැඩිච්ච සිංහලෙන් කතා කරන දමිළ කාන්තාවකගෙන් හරියටම පාරත් අහගෙන අපි ගමෙන් ඈතට යන්න පටන් ගත්තා..


කාලෙකට කලින් තාර දාපු පාරක්..දළු ලොරි ගිහිල්ලම ගල් කැට මතුවෙලා..තැනින් තැන ළඟකදී දාපු කොන්ක්‍රීට් පැලැස්තර...


ගැමි ලකුණු කෙලවර වෙන ඉසව්වෙදි අපි ඉස්සාරහට එනවා ඩබල් කැබ් දෙකක්..පාරෙ ඉඩකඩ බොහොම සීමිත නිසා අපි අයින් වෙලා ඉඩ දුන්නා..

මේ මෝර්නින් සයිඩ් බලන්න ගිහින් එන සංචාරකයො ටිකක්..අතින් කටින් බඩු එල්ලගෙන ඉන්න අපිව දැකලද කොහෙද අන්තිමට ගිය කැබ් එකේ ගිය තලතුනා ගෑනු කෙනෙක් කියනවා


" අනේ පුතේ ඔහොම කොහොමද යන්නෙ " කියලා..


ගැම්මෙන් පටන් අරන් ආපු අපිට කනට ගැහුවා වගේ... ඒ කියන්නේ ඒ තරම් අමරුයිද ගමන...


කරන්න දෙයක් නෑ..කොහොමහරි යන්න එපැයි..


සංජය අයියා පදමට හදන බුලත් විටකුත් හප හප ආයේ ගමන පටන් ගත්තා... දැන් නම් කැම්පස් කියලා ඔලුවේ අත ගහලා කිව්වත් ඇස් පේන මිනිහෙක් නම් විස්වාස කරන්න්නෙ නෑ...


මේ විදියට පාරෙ තවත් පොඩ්ඩක් දුර යනකොට පාර දෙපැත්ත වහගෙන හිටපු ගස් ඔක්කොම වගේ නැතිවෙලා එකයායට පේන්නෙ සාරවත් තේ වතු..

වට පිටේ ලොකු ගහකොල මුකුත්ම නැති නිසා වටේටම පේනවා..

වචනයෙන් විස්තර කරන්න බැරි චිත්‍රයක් වගේ..

දැන තමා තේරෙන්නෙ අපි ඉන්නේ කොච්චර උඩින්ද කියලා...බලන බලන පැත්තෙන් කඳු විතරමයි..ඒ කඳු යා කරන සුදු සේල වගේ වලාකුළු තීරු තීරු...




ටිකක් වෙලා නැවතිලා වටේම බලන් හිටියා... තාම කලුවර වැටිලත් නෑ නෙහ්.. වෙලාව තියෙනවා ඕනෙතරම්...

කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ...

රතු පාට බස් එකක් කොල පාට පසුබිමේ හෙමි හෙමින් යනවා...ටික වෙලාවකට අතුරුදහන් වෙලා ආයේ තවත් කන්දක් ළඟින් මතුවෙනවා..

හරියට නිකන් ලොකු කොලයක් උඩ ලේඩි බර්ඩ් කෙනෙක් යනවා වගේ..




විටත් හප හප අපි තවත් උඩට නැග්ගා...බෑග් වල බරයි , උදේ කෑමට පස්සේ හරියට මුකුත් බඩට ගියේ නැති එකයි, එන්න එන්නම කන්දෙ නැග්ම වැඩි උනු එකයි අපේ ගමනෙ වේගය බාල කලා..


පහල ගමෙන් ගත්ත බුලත් විටේ තිබ්බ දුම්කොලේ ටිකක් සැරයි..පැණි දුම්කොල වගේ නෙවෙයි හරි දුම්කොල එකක් අහුවුනාම.. කන දෙපැත්තෙන් රත්වෙලා එනවා නිකන්....



තේ වතු මැද්දට යනකොට කලින් තිබ්බ තාර පාර නැතිවෙලා බොරළු පාරක් දිගේ තමා යන්න තියෙන්නේ.. කන්දෙ නැග්ම වැඩිවෙන තැන්වල කොන්ක්‍රීට් තීරු දෙකක් දාලා වාහනේකට යන්න පුලුවන් ගානට....


දැන් කිලෝමීටර් දෙකකට එහා අපි එන්න ඕනේ මයෙ හිතේ...

තව ටිකකින් කෑම්ප් එක..


ඒත් හැබැයි පේන තෙක් මානෙක වනාන්තරෙක ලකුණු නම් නෑ.. තේ වතු විතරයි...


මෙහෙම ගාට ගාට යද්දි , ඈතින් ඈතින් අඩි තිය තිය එනවා වයස අවුරුදු 60ක විතර මාමා කෙනෙක්.. සරමත් කැහැපොට ගහගෙන, විටකුත් කටේ..


වැස්සක් ආවොත් කියලා කුඩයක් ව්තරයි අතේ තිබ්බේ...


මාමේ මොර්නින් සයිඩ් කෑම්ප් එකට තව කොච්චර දුරද?

තව කිලෝමීටර හතරකට වැඩී..


මොකක්? අපිට පහළින් කිව්වෙ කිලෝමීටර 2-3ක් කියලා නේ...


කවුද කිව්වෙ? 6කට වැඩි මිසක් අඩු නෑ....

මාත් එඇ පැත්තට යන්නේ විජහට යන්..දැන් රෑ වෙනවා...

ලොකු එක්කෙනා එන්නත් පුළුවන්...


ගමේ මිනිස්සු අලියට කියන්නේ ලොකු එක්කෙනා කියලා .. ඒ කියන්නේ බයත් එක්කම ගෞරවයත් මිශ්‍ර වුණු හඬකින්.. නම කියලා කතා කරන එකෙන් කරදරයක් වෙයි කියලා විශ්වාසයක් මේ මිනිස්සු අතර තියෙනවා...


සමහර ප්‍රදේශ වල කූඩැල්ලාට වුනත් අන්වර්ථ නාමයකින් කත කරනවා මං අහල තියෙනවා.. මිනින්දෝරුවො!


පාර දන්න මනුස්සයෙක් එක්ක යන එක හිතට ලොකු හයියක්..ඒත් තව ආවා වගේ දෙගුණයක් මේ බරත් උස්සන් යන්න ඕනේ කියල දැනෙද්දි හිත පස්ස ගහනවා..


පිටදෙනියෙදි තුන්වේලම මස් මාළු කෑව නේ... දැන් ඒ ඔක්කොම ටික පුච්චගෙන නැගපන්.. කවුරුහරි කිව්වා.. මතක නෑ කවුද කියලා..

කතාව ඇත්ත කොහොමහරි..


මාමත් එක්ක කතාව දාගෙන අපි උඩට නැග්ගා..

මේ මාමා වත්තේ බංගලාවක මුරට ඉන්නේ..

ඒ බංගලාව ලංකාවේ තියෙන පරණම වතු බංගලා වලින් එකක්..


කොහොමහරි මාමා මුරට ඉන්න බංගලාව ළඟට එද්දිත් ලාවට කළුවර වැටිලා..

ඔය මහත්තයලා මෙතනින් කෙලින්ම යන්න... යනකොට කොන්ක්‍රීට් පාලමක් හම්බෙයි...ඒක පහුකරලා යනකොට වමට පාරක් ඇති..ඒ පාරෙ කෙලින්ම ගියාම කෑම්ප් සයිට් එක..

පොඩ්ඩක් බලාගෙන යන්න.. දෙයියන්ගේ පිහිටයි..



මාමට ස්තූති කරලා අපි යන්න කියපු පාරට හැරුණා..


ඒ පාරෙ ටික දුරක් ගියාම තේ වතු ඉවර වෙලා එකපාරටම ගස් ගොන්න මතුවෙනවා... මේ තමයි මෝර්නින් සයිඩ් ඇතුල් වෙන තැන... ගස් ගොන්නයි තවත් ටිකක් රෑබෝ වෙලා නිසයි අපි ටෝච් එලියට ගත්තා.. දැන් වෙලාව 7ට කිට්ටුයි..


මාමා කියපු පාර දිගේ අපි යනවා දිගටම...

සමහර තැන් වල ඝණටම කැලෑව....තවත් සමහර තැන්වල පොඩි පඳුරු එක්ක ලඳු කෑලෑ....

රැහැයියොන්ගෙ සද්දෙ එකදිගටම....ඉඳලා හිටලා ගෙම්බෙක්ගේ සද්දෙ ඇහෙනවා රැහැයියන්ගේ ඒකාකාරී සද්දෙත් එක්කම...

අහස දිහා බැලුවත් කිසිම එලියක් නෑ...අඩුගානේ තරුවක් වත්..


පාරේ අයිනේ තැන් තැන් වල වල් ඌරො හාරපු ලකුණු ටෝච් එළියෙන් පේනවා.. කැලේ ඇතින් එක එක සද්ද ඇහෙනවා කන ළඟින් හමන හුළං රැල්ලක් එක්කම....


විනාඩි 25-30ක් ඇවිද්දත් තාම කොන්ක්‍රීට් පාලමක් හමුවුනේ නෑ.. අපිට පාර වැරදිලාවත් ද? පාළම පහුවුණා වත් ද?


මේවා ඔක්කොම හිතට ආවා... මෙහෙම යද්දි අන්තිමේ අපිට හමුවුණා මාමා කියපු පාළම... 7:35යි.


පාළම පහුවෙලා නම් වැඩි දුර යන්න කළින් වමට පාරක් තිබ්බා.. වාහන ගිහින් වලවල් හෑරුණු පාරක්...දෙපැත්තෙන් තණකොල සරුවට වැවිලා...ඊට එහායින් පොඩි පොඩි ගස් වලින් වැහුණු කලු පාට අඳුරු කුට්ටි... එහෙම තමයි පේන්නෙ මේ වෙලේ..


ඒ පාරෙ මීටර 200ක් විතර යද්දි අපිට පේනවා එළියක්.. තව ටිකක් ළං වෙද්දි ඒ චිමිනියක් එක්ක තියෙන ලාම්පුවක් කියලා පෙණුනා..

පරණ තාලෙ ගෙයක්..පෝටිකෝවකුත් එක්ක.. ගේ වටේටම බීරළු අල්ලපු පේමන්ට් එකක්.... එච්චරයි ටෝච් එළියට පෙනුනෙ...

තව ටිකක් ළඟට යද්දි ඇතුලෙ ඉඳන් කවුදො ආවා...


මෙතන බලාගන්න ඉන්න මනුස්සයා..

අපි ආපු විස්තරේ කිව්වා...


අද නම් කට්ටියක් ඉන්නවා මෙහේ..නවතින්න විදිහක් නෑ...


අපිට නවතින එක නම් ප්‍රශ්නයක් නෑ..කූඩාරමක් තියෙනවා...ඒකට පොඩ්ඩක් ඉඩක් තිබ්බ නම් ඇති.. මිදුලෙන් කමක් නැද්ද?


මෙහෙ ඉන්න කට්ටිය මොනා කියයිද දන්නේ නෑ... ඒ අයත් කැලේට ගිහින් තාම ආවෙ නෑ...


පේන විදියට මනුස්සය කැමති නෑ වගේ වැඩිය..

අපි එහෙනම් ටිකක් එළියෙන් ඉන්නම් කියලා අපි ආපු පාරදිගේ ටිකක් පස්සට ආවා...


දැන් කූඩාරම ගහන්න තැනක් හොයාගන්න ඕනේ... මුළින්ම බැලුවෙ පාරෙන් ගහන්න..මොකද වාහන එන්නෙත් නැති නිසා..

ඒත් සත්තු වුණත් පාරෙන් යන්න පුළුවන් නේද කියලා හිතලා අපි පාරෙන් අයිනෙ කූඩාරම අටවගන්න තැනක් හෙව්වා..හැමදේටම තිබ්බේ ටෝච් තුනකුයි එළවලු කපන්න ගෙනාපු පිහියකුයි විතරයි.


බලන බලන් හැමතැනම සත්තු මාරුවෙන මංකඩවල්.. ඉඩ තියෙන තැනක් තිබ්බොත් එතන ලොකු කූඹි ගුලක්... හොයලා හොයලා බැරිම තැන අපි මංකඩක් වහන්න තීරණය කලා... ජූඩ් බිම සුද්ද කරද්දි මං ගියේ ගස් වල අතු ටිකක් කපන් එන්න.. කපන්න කියලා ලොකු ගස් තිබ්බෙත් නෑ... වල් කුරුඳු ගස් තමා ගොඩක්ම තිබ්බේ.... අතට අහුවෙන හරියෙන් තිබ්බ අතු ටිකක් කපලා තව වැටිලා තිබ්බ ගහක කඳකුත් එක්ක එක මංකඩක් සම්පූර්ණයෙන්ම වැහුවා.. සාමාන්‍ය විදියට නම් සත්තු මාරුවෙන මංකඩක් වහලා කූඩාරම් අටවන්නේ නෑ.. ඒත් මේ වෙලාවේ කරන්නම දෙයක් නැති නිසාත ඕනෙතරම් මංකඩවල් තිබුණු නිසාත් අපි මේ පියවර ගත්තා...


මංකඩ වහලා කූඩාරම ඇටෙව්වා.... යටින් තියෙන්නෙ බොරළු පොලොවක්...මේකෙ නම් නිදාගන්න වෙන්නෙ නෑ...

යායට වැවිලා තිබ්බ සේර පඳුරු ටිකක් ගෙනත් යටින් ඇතිරුවා.. දැන් ටිකක් හරි වගේ....

රෑට වැස්සොත් කියලා වටේට අඟලකුත් කැපුවා...එළවළු කපන පිහියෙන්!


දැන් ඊළගට... ගිනිමැලයක් !


තුන්දෙනාම දර හොයන්න ගියා...කලින් දවසේ වැහැලාද කොහෙද පොලොව ටිකක් තෙතයි..

දිරපු පොඩි ගස් වලින් දර ටිකක් කඩාගත්තා... කොහේදෝ තිබ්බ වාසනාවකට කලින් පත්තු කරපු දර ගොඩක් අපිට හමුවුණා ටිකක් එහාට වෙන්න...


මේ ඇති!


දැන් තියෙන්නෙ මේ ටික පත්තු කරගන්න.... කේතුවක් විදියට දර කෑලි තියන එක තමා සාමන්‍යයෙන් කරන්නේ..අපි ඒ විදියට දර හදන අතරෙ සංජය අය්යා කූඩාරම ඇතුළට අපේ බඩු මුට්ටු ටික අස් පස් කලා...


එකපාරටම ගෝනෙක්ගේ සද්දයක්...ඒක නිකන් සද්දයක් නෙවෙයි.. අනතුරු අඟවන සද්දයක්...එහෙම නැත්නම් එලාම් කෝල් එකක්..බොහොවිට මෙහෙම කරන්නේ දිවියා ළඟ පාතක ගැවසෙනකොට.. ඉතින් මේක අපිටත් ටිකක් කල්පනාවෙන් ඉන්න කියලා මතක් කිරීමක්...

මිනිසා දිවියාගේ ගොදුරක් නොවුණත් මිනිහෙක්ට පහර දෙන අවස්ථා නැතුවමත් නෑ...



තෙමුණ දර වලට භූමිතෙල් වක්කරලා වේළුණු සේර කොල ටිකකුත් දාලා ගිනි ඇව්ළුවා.... සරස් ගාලා ගිනිමැලේ පත්තු වුනා.... හෙන සතුටුයි..!


හැබැයි ඒ සතුට තිබුනේ සේර කොල ටික පත්තු වෙනකන් විතරයි... දර වලට මුකුත් වෙලා නෑ...

සේර කොල කප කපා පැය බාගයක් විතර ඔට්ටු වෙලා තමය් අන්තිමේ දර වලට ගිනි අවුලවා ගත්තේ..


දැන් තමා රෑ කෑම වෙලාව.. උදේ කෑවට පස්සේ....

කෝ ඉතින් කෑම?


ආආ.... අමතක උනා... අපි උදේ එද්දී පිටදෙනියෙන් අපිට බත්මුල් තුනක් දුන්නා... දැන් තමා කන්න යන්නෙ ඒවා..


කන්න කළින් වතුර හොයගන්න ඕනේ.. ජූඩයි මායී අපිට හමුවුණු කොන්ක්‍රීට් පාළම ගාවට ආවා.. ලාවට මීදුමක් පාරෙ දිගට...


පාළමට යටින් දියපාරක් ගලනවා..පෙනුමේ හැටියට නම් වතුර හොඳයි වගේ... කොහොමත් කැලේ නිසා හොඳ වෙන්න එපැයි..

හැබයි පාලමේ ඉඳන් හොඩක් පහළින් තමා වතුර තියෙන්නෙ... පාලමේ අයින දිගේ බැහැලා බොහොම අමාරුවෙන් වතුර බෝතල් දෙකකට පුරවා ගත්තා...


අත්වල වතුර ගෑවෙද්දි දැවිල්ල ගන්නවා.. සේර කොලවලට කැපිලා... කොලේ දාරේ හරිම මුවහත් නිසා කැපීම් වුණත් හරි සියුම්..


කූඩාරම ළඟට වතුර ගෙනල්ලා අපි අත පය හෝදගෙන කන්න ලෑස්ති වුනා...

අයියගේ බත් මුල ඇරියම ගඳක් ආවා....


අප්පා... පිළුණු වෙලා කියහන්කො... උඹලගෙත් බලහන්..


මගේ අල එක පිළුණු වෙලා ..අනිත් ටික ශේප්..


ජූඩ් උබේ? මං දන්නෑ මට නම් ඔක්කොම හොඳයි වගේ..

කෝ දියන් බලන්න....


පරිප්පු එක අවුල් උබේ...බත් එකත් පොඩ්ඩ්ක් ඇලෙනවා හැබැයි කන්න බැරිකමක් නෑ....


සංජය අය්යේ ඔක්කොම අවුල්ද?


නෑ මං හිතන්නේ බත් එක විතරයි.. බිත්තරෙත් අවුලක් නෑ...


අන්තිමේ පිළුණු වුනු ඒවා විතරක් අයින් කරලා ඔක්කොම බත් ටික එකට දාලා කෑවා.. මොනා කරන්නද?


කෑවට මදි වගේ..

මදිපාඩුවට පාන් පෙති දෙක ගානේ කාලා ඔක්කොටම උඩින් වතුරත් දාගත්තා. දැන් හරි....


දවසෙ තිස්සෙම ඇවිදලා මහන්සි නිසා නින්ද අපිව හොයාගෙන ආවේ හිතන්නත් කළින්.. බාගෙට කපපු ගස්වල මුල් පිටෙ ඇනෙද්දී නින්දට ටිකක් බාධා වුනත් කරදරයක් නැතුව නින්ද ගියා.. රෑ විටින් විට ගෝනා කලින් වගේම කෑගැහුවා..එකපාරක් අපේ ළඟින්ම වගේ...



උදේ පහමාරට විතර ඇහැරුණා.. කූඩාරම් රෙද්දෙ ඇතුලෙ බිත්තිය දිගේ වතුර බිංදු බිංදු... අපේ හුස්ම වල තිබුණු ජලවාෂ්ප වෙන්න ඕනෙ...

මං එහෙමෙහෙ වෙන සද්දෙට අයියත් ඇහැරිලා.... ජූඩ් නම් තාම නිදි...


ගොඩක් අවස්ථා තියෙනවා නිවුණු ගිනි මැලවලට දිවියො එනවා කියලා ලගින්න..අපේ එකටත් ඇවිල්ලද දන්නෑ...


අපි කූඩාරමේ දොර ඇරලා බැලුවා... වටේටම මීදුම.. ගිනිමැලේ නිවිලා...

දිවියෙක් නම් නෑ..

 
 
 

1 Comment


vinuweera23
Mar 16, 2018

It's like "being in the jungle myself" 😍 Nice style of writing. May you have many more opportunities to experience the wildlife. Waiting for the next....

Like

Join our mailing list

  • Black Facebook Icon
  • Black Instagram Icon

© 2019 the Wanderer by Lahiru Rajapaksha_NR Creative Studio

bottom of page