හරිත බිම් සොයා - අවසාන කොටස
- Raksh
- Apr 6, 2018
- 9 min read
පාර දෙපැත්තෙම සරුවට වැවිලා තිබුණු සේර පඳුරු වලට උඩින් සුදු පාට මීදුම් තට්ටුවක්....
අඩි පහ හයකට එහා පේන්නෙත් නැති තරම්..
ඊයේ වැස්සෙ නැති නිසා වෙන්න ඕනේ මෙච්චර ඝන සැරේට මීදුම...කොහොමත් පායන කාලෙට මීදුම වැඩි කියලා මං අහලා තියෙනවා...
පිටදෙනියේ තරමටම නොවුණත් ඇඟ හිරිවට්ටන හීතලක් මෙහෙත්..
සාමන්‍යයෙන් අපි තෙත් කලාපෙ අත්විඳින හීතලට වඩා වියලි කලාපෙ හීතල හරි වෙනස්....
ඇඟේ කටු අනින්න වගේ දැනෙන හීතල වෙනුවට මෙහේ තියෙන්න හම ඇදලා ඇදලා පුපුරු ගස්සන තාලේ හීතලක්....
ඊයේ රෑත් හරියකට නොකාපු බඩවල් ගුරු ගුරු ගාන්න කලින් මොනාහරි උයාගන්න අපි තීරණය කලා...
ඒත් මේ හීතලේ එලියට බහින එක උඩින්ම අමාරු වෑඩක්..
තාම වෙලාව 6ට ත් නෑ... ඒත් ලා එළියක් වටෙන්ම තියෙනවා..
කන්න උයන්න කෝකටත් කලින් වතුර හොයගන්න ඕනේ....
ඊයෙ දවසෙන් බාගෙකටත් වඩා බැහැගෙන හිටපු බූට් වලට ආයේ බහින්න කම්මැලි...
ඔන්න ඔහේ ඕනේ එකක් කියලා කූඩාරමෙන් එළියට ආවා...
.............................................................................................................................
රැයක් තිස්සේ හීතල උරාගත්තු පොළොව උඩ කකුල් තිබ්බම යටි පතුල් වලින් ඇතුල් වෙන හීතල ඇඟ දිගේ උඩටම ගිහින් කන් අඩි දෙකෙන් පිටවෙනවා...
ගිනි මැලේ දර වැඩි හරියක්ම පිච්චිලා... ලොකු දර කෑලි වල අරටු විතරක් මුරණ්ඩුකමට ඉතුරු වෙලා..
තාමත් අඟුරු ඉතුරුද බලන්න අපි කෝටුවකින් අළු එහෙ මෙහෙ කලා....
මුකුත් නෑ...
උදේ පින්නට ඔක්කොම නිවිලා....
ගෙදර තිබුණු ලොකුම බෙඩ්ෂීට් එක ගෙනත් ඉහේ ඉඳන් පොරවගෙන නිදි එකාට තව නිදාගන්න දීලා අපි වතුර ගේන්න පිටත් වුණා..
වතුර ගේන්න කියලා ලොකු භාජන තිබ්බෙ නෑ... වතුර ගෙනාපු ප්ලාස්ටික් බෝතල් දෙකක් විතරයි තිබ්බේ...
ඒ ඇරෙන්න මොනවාහරි තම්බගන්න ගෙනාපු ඇලුමිනියම් වළඳකුයි, හැන්දකුයි අරන් ගියා හෝදන් එන්න කියලා..
පාර දිගේ ඉස්සරහට යද්දි එක එක සද්ද ඇහෙනවා.. ඒවා එන්නෙ කොහෙන්ද කාගෙන්ද කියලා හරියටම පේන්නෙ දැනෙන්නෙ නැති වෙන්න හතර වටෙන්ම මීදුම් තට්ටු තට්ටු....
එක වෙලාවක සට සට ගහලා වේගෙන් තටු ගහන සද්දයක්....
කිචි බිචියක්.... වෙලාවකට ගාලගෝට්ටියක්.....
ඈතින් ඇහෙන හබන් කුකුළෙක්ගේ හඬක්....
තවත් වෙලාවක වළිකුකුළෙක්.....
මේ ඔක්කොමත් එක්ක ගත්තම හරියට ඇස් බැඳලා කැලේකට ඇතෑරියා වගේ හැඟිමක්...
අපි දියපාර ළඟට එද්දි වටෙන් ගොඩෙන් එළිය වැටීගෙන එනවා....
ඉර බහින්න ඔන්න මෙන්න තියෙද්දි හරි ඉක්මනට හැංගිලා යනවා වගේම, හැංගිලා ඉන්න ඉර එළියට එන්නෙත් හරිම ඉක්මනින්...
උදේ කහපාට එළිය මීදුම අස්සෙන් පොලොවට වැටෙන්නේ පොලොවටත් නොරිද්දන ගානට.. ඒ තරම් එලිය සෞමය්‍යයි...
හීන් හඬකුත් එක්ක කොන්ක්‍රීට් ලෑල්ලකට යටින් ගලාගෙන බහින් දියපාර හිතුවට වඩා විසාලයි...
ඊයේ කළුවරේම වතුර ගන්න බැහැපු තැන තණකොළ පෑගිලා පොඩිවෙලා ....
කලින් විදියටම වතුර ගන්න කියලා මම බෝතලෙකුත් අරන් වතුරට බහින්න හැදුවා.. තණකොළ උඩින් තියපු පළවෙනි අඩියම ආපස්සට ගන්න උනේ කකුලේ තුන් හතර පොලක්ම වේදනා දෙන්න ගත්තු නිසා...
නයි කූඹි...
මං කකුළ තියලා තියෙන්නෙ නයි කූඹි ගුලක් උඩ.. එකක් නෙවෙයි ඒ වටේම කූඹි ගුල් ගොඩක්...

එක රැයකට අපිට වතුර ගන්න යන්න තිබුණු එකම පාර වහගෙන....
මේකෙන් වතුර අදිමු බං.... සංජය අයියා කිව්වේ කලිසම් සාක්කුවෙන් නයිලෝන් ලණු කැරැල්ලක් එළියට අදින ගමන්...
මේ අපි මිස්ට් නෙට් කරද්දි ගැටගහන්න පාවිච්චි කරන ලණු...
ලණුවේ කෙළවරක් බෝතලේ කට වටේ ගැටගහලා වතුරට දැම්මා...
බෝතලේ වතුර උඩ පාවෙනවා විතරයි..වතුර පිරෙන්නෙ නෑ...
දෙතුන් පාරක් උත්සාහ කරලා බැරි තැන, වටෙන් පිටෙන් හොයගත්ත ගලක් බෝතලෙත් එක්ක ගැටගහලා වතුරට දාලා බැලුවා..
වැඩේ හරි...
බෝතලේකින් වතුර ඇදපු පළවෙනි වතාව...
හතර පස් පාරක් වතුර පුරවලා , භාජන එහෙමත් හෝදගෙන අපි ආයෙමත් කූඩාරම ළඟට ආවා....
දැන් නම් මීදුම ටිකක් අඩුයි... ඈතින් තියෙන කඳු එහෙමත් යන්තමට වගේ පේනවා..
පේලියට වැවුණු කටු කිතුල් ගස් හරියට රුසියන් සුරංගනා කතාවල එන බාබයිගා යකින්නගේ වැට වගේ....කලුපාටට අත් දික්කරගෙන...
ඉර එළිය හොඳට තිබුණත් ඉර නම් පේන්නේ නෑ වගේ....
බොහෝම උත්සාහ කරලා බැලුවොත් නම් පේනවා අහසෙ කොනකට වෙලා ලා තැඹිලි පාටින් ඉන්නවා හැංගිලා වගේ... මීදුම අස්සෙන්...

නූඩ්ල්ස් පැකට් 6ක් කඩලා බාගෙට පොඩ්ඩක් වැඩිවෙන්න වතුර තිබුණු වළඳට දාලා, යන යන හැම තැනම උස්සන් යන, සමහර ගමන් වලදි නිකන්ම අමතර බරක් විතරක්ම වෙන අපේ හුරුබුහුටි ගෑස් ලිප උඩින් තිබ්බා....
ලිප පත්තු කරලා ඒක වටේ අපි වටවෙලා හිටියේ සීතලටත් එක්ක..
රත්වෙන වතුරත් එක්ක නූඩ්ල්ස් කෑලි උඩ පනිනවා... වළඳෙ වටේට සුදු පාටට පෙන නැගගෙන එනවා අපි බල හිටියේ බඩගින්නත් තද කරන්....
නූඩ්ල්ස් එකේ වතුර පෙරන්න ඔන්න මෙන්න තියලා නිදි මිනිස්සුත් ඇහැරන් එනවා....
ආ.... උඹලා උයනවද....
හරි ගානට නූඩ්ල්ස් එකක් තැම්බෙද්දි එන සුවඳ අද වෙනදටත් වඩා වැඩී.... හනි හනික කටත් හෝදගෙන තුන්දෙනාම කන්න ලෑස්ති උනා..
කන්න පිඟන් නෑ..
පිඟන් ඕනේ නෑ මේකෙම කන්න පුළුවන්...
ඒත් රස්නෙයි තාම...
රස්නෙ කියලා බෑ බඩත්ගිනි...
තියෙන්නෙත් එක හැන්දයි...ඒකත් ලොකු එකක්...
ඒ ළඟ පාතම තිබුණු වල් කුරුඳු ගහෙන් කෝටු කෑලි ටිකක් කපාගෙන සුද්ද කරලා ගත්තම ඔක්කොම හරි..
හැමෝටම නූඩ්ල්ස් කන්න චොප්ස්ටික්ස්...

ලිප උඩ තියාගෙනම වළඳම හිස් කරන්න වැඩි වෙලාවක් ගියේ නෑ.... කොහේදෝ ඉඳන් ඇහුණු කවුඩෙක්ගේ සද්දයක් අපේ වේගය වැඩි කලා...
මෝර්නින්සයිඩ් වල පළවෙනි කවුඩු හෝඩුවාව....
හනි හනික එලියෙ තිබුණු බඩු ටික කූඩාරමට ගාල් කරලා, මිස්ට් නෙට් බඩු ටිකත් අරන් අපි වනගත වුණා...
යන පාර දෙපැත්තෙ බොහොමයක් සුන්දර දේවල් පහුවුණා... ඒත් කවුඩො හොයාගන්න එක මූලිකම වැඩේ නිසා ඇහැ කොනෙන් සුන්දරත්වය විඳගෙන අපි කැලේ ඇතුලට ආවා....
හා හා පුරා කියලා වැටෙන ඉර එළිය ගස් අස්සෙන් තීරු තීරු පොළොවට වැටෙනවා....
තවත් තැනක මකුළු දැලක් උඩ උදේ පින්න එකතු වෙලා...හරි ලස්සනට බිංදු බිංදු මකුළු දැල දිගේ....
පිනි බිංදු වලට ඉර එළියත් එකතු වුණාම හරියටම පළිඟු වැලක් වගේ....

ආයෙම කවුඩා!
ළඟපාතින්මයි සද්දේ ආවේ..
අපිත් ප්ලේබැක් කලා..
කිසිම ප්‍රතිචාරයක් නෑ...
ගස් මුදුන් වලට... වයසටම දිරාගිහින් අහසට නියවන් ඉන්න ඉපල් කොන් වලට... ඇස් රිදෙනකන් එල්ලගෙන හිටියත් කුරුල්ලගෙ ඡායාවක් වත් නෑ..
මේ විදියට ගොඩක් වෙලා උත්සාහ කරලා බැරිම තැන අපි කැලේ වෙනත් පැත්තකට යන්න තීරණේ කලා... ඒත් කූඩාරම තාම පාර අයිනේ..
ඉක්මනටම කූඩාරම ළඟට ඇවිත් කූඩාරම ගලවලා බඩු ඔක්කොමත් එක්ක අපි රිසර්ච් බැංග්ලෝ එකට ආවා..
එලියක් තියෙන වෙලේක මේ පරණ තාලෙ ගොඩනැගිල්ල දැක්ක පළවෙනි වතාව...
"මෝර්නින්සයිඩ් පර්යේෂණ බංගලාව"
ලී පුවරුවක සුදු තීන්තෙන් පින්තාරු කරලා...

පළු දෙකකට ඇරෙන ලී දොර කාලයත් එක්කම වයසට ගිහින්... බොහොම කාලෙකට කලින් ගාපු වාර්නිෂ් වල නටඹුන් දොරේ සමහර තැන්වල...
තුන්හතර පාරත් දොරට තඩිබාද්දි බංගලාව බලාගන්න ඉන්න කෙනා දොර ඇරියා...
අපි කැලේට යනවා.. මේ ටික මෙහෙන් තියලා යන්නම්..
ආ... අද යනවද?
ම්ම්... කොහොම වෙයිද දන්නෙ නෑ....කුරුල්ලො ඉන්න විදිය අනුව තමා...
මෙහෙ ඉන්න මහත්තුරුත් දවල් වෙලා යයි..මාත් දවල්ට ටවුමට යනවා.. ඒ නිසා එලියෙන් තියන එක හොඳයි..මං නැති අස්සේ ආවොත් එහෙම...
ටවුම කිව්වෙ, සූරියකන්ද ද?
ඕ... වැඩි දුරක් නෑ..කිලෝමීටර හත අටක් වගේ...
මේ පැත්තෙන් කැලේට පාරවල් තියෙද?
කලින් නම් තිබ්බා ටිකක්, දැන් නම් වැහිලත් ඇති මයෙ හිතේ..
අපි එහෙනම් ගිහින් එන්නම්..
හ්ම්...
කට පුරවගෙන ඉන්න බුලත් වඩිය නිසා මේ මනුස්සයගේ උත්තර හරිම කෙටි....
අවශ්‍යම කරන බඩු ටික විතරක් අරන් අපි බංගලාව ලඟින් වමට තියෙන පටු අඩි පාරක් දිගේ ගියා..ගමන පටන් අරන් වැඩි දුරක් යන්න කලින්ම එක එක බාධක ....
පාරම වහගෙන ඉන්න කටු පඳුරු..
කඩන් වැටුණු ගහක්.....
එකපාරටම කෙලවර වෙන අඩිපාරවල්....
මේ හැම එකක්ම කොහොම හරි අස්සෙන් රිංගලා ගියත් අන්තිමේ අපිට මගාරින්නම බැරි තැනක්...
අපි යන පාර හරහට දොල පාරක්... අඩි 8ක් විතර පලලට...
එහොඩ වෙන්න විදියක් ඇත්තෙම නෑ...එහොඩ උනත් එතනින් එහාට යන්න පාරක් නෑ...තනිකරම කටු පඳුරු බූටෑව...
අපි ආපහු හැරුණා!
අපි මේ යන්නෙ අපි කැලේට ඇතුල් වුණු ඉසව්වට ...ඒ කියන්නේ මොර්නින්සයිඩ් වතු යාය කෙළවර වෙන දිහාවට..කොටින්ම කිව්වොත් අපි ඊයෙ අපු පාර දිගේ....
කැලේ පටන් ගන්න තැනට එනකම් අපි උත්සාහ කලා කවුඩෙක් ගෙන්නගන්න... ඒත් අපි වාසනාවන්ත වුනේ නෑ,..
කොයිතරම් කැලේ ඇතුළට ගියත් කිසිම හෝඩුවාවක් නෑ...
ඒත් කවුඩා ඇරෙන්න... කලින් නොදැකපු බොහොමයක් කුරුල්ලො අපිට හමුවුණා...
ශ්‍රි ලංකා කහකන් කොණ්ඩයා (Sri Lanka yellow-eared bulbul).. පියාඹද්දි සට සට ගාලා වේගෙන් තටු ගහනවා..හරියට පරවියෙක් තටු ගහනවා වගේ...
ඊට පස්සේ කළු ගෙලැසි රදාමාරා( Black naped Monarch) ... බොහොම ලස්සන කුරුල්ලෙක්...
වත්ඳුරු පඳුරු දෙමලිච්චා ( Dark fronted babbler) තවත් එක්කෙනෙක්..
මේ ඔක්කෝටම වඩා කැපී පෙනෙන කුරුල්ලෙක්..ඇත්තටම බස්සෙක්...
ශ්‍රී ලංකා පිටතඹල උප බස්සා (Sri Lanka Chestnut backed owlet) ...
දිවා කාලයෙත් ක්‍රියාකාරී බස්සො විශේෂයක්...
රතු-දුඹුරු පාට පිට ප්‍රදේශය වගේම ලොකු කහපාට ඇස්දෙකත් කැපී පෙනෙන ලක්ෂණ...

ඉතින් අපි ආයෙමත් බංගලාව දිහාට එන්නයි හදන්නේ..මොකද මේ වෙද්දි අහසම කළු වෙලා ලොකු වැස්සකට අර අදින ගමන්...
හීනියට පොදක් දෙකක් වැටෙද්දි අපි ආපහු එන්න පටන් ගත්තා....
------------------------------------------------------------------------------------------
සිංහරාජේ මේ පැත්ත හරිම වෙනස්..
ගහ කොල ගත්තත් වෙනම ප්‍රජාවක්..
සාමාන්‍යයෙන් සිංහරාජෙ ගොඩක්ම බහුල රතු දෙමලිච්චාවත් අපිට දැකගන්න හිටියේ නෑ....
අනිත් අතින් ගත්තම පරිසරය..
මෙහෙ තෙතමනය ගොඩක්ම අඩුයි සාපේක්ෂව ..
මගදිගට පාරෙ අයින් වල ඇඹුල් පේර ගස් සරුවට වැවිලා.... සමහර ගස් වල තාම මල් විතරයි.. ඒත් සමහර පොඩි ගස්වල ඉදිලා කහ පාට වුණු ගෙඩි පොකුරු අපිට හමුවුණා....
හීනියට පටන් ගත්ත පොද , මොරගෙඩි තරම් ලොකු වෙලා ටොක් ටොක් ගාලා අපේ ඔළුවලට වැටෙද්දි අපි බංගලාවට කිට්ටු කරලා...හනි හනිකට පෝටිකෝව යටට දුවලා වැස්සෙන් බේරුණා..
බංගලාවෙ දොර වහලා..කිව්වත් වගේම ටවුමට ගිහින් වගේ...
වෙන කරන්න කියලා දේකුත් නැති නිසා අපි සිමෙන්ති පඩියක් උඩට වෙලා වෙලාවකට අඩුවෙන ආයෙම හෝ ගාල වැඩිවෙන වැස්ස දිහා බලන් හිටියා....
සමහර වෙලාවට හරහට හමන හුලඟ වැස්ස පෝටිකෝව ඇතුලටත් අරන් එනවා....
වහලෙන් වතුර වැටිලා ගලාගෙන යන කාණුවෙ දාරෙ දිගට ඇදිලා ආපු මාපිල් පැටියෙක් අපි ඉස්සරහින් අනිත් පැත්තට මාරු වුණා...
වැස්සට පොළොව තෙමිලා පොළොවෙන් මතුවෙන පුංචි සත්තුන්ට කුරුමාණම් අල්ලන නිල් පෙඳ බිඟුහරයට (Blue tailed bee eater) වැස්ස ගානක් නෑ.... නැවුණු අත්තකට වෙලා හයියෙන් හුළන් හමද්දි පොඩ්ඩකට ඉගිල්ලිලා ආයෙම හිටපු තැනටම එනවා.. එක පාරටම පොඩි සතෙක් කටින් අරගෙන ආයෙම අත්ත උඩ..

මේ රංගනය කෙලවර වුනේ ඒ අත්තටම ආපු බොර සබරිත්තෙක් (Brown shrike)හින්දා.. වැස්ස කියලා නෑ.. කුරුල්ලො තමන්ගේ වැඩ...
වහලෙ හිල් වුණු තැන් වලින් වැටෙන වතුර බිංදු චොක් ගාලා සිමෙන්ති පොළොවට වැටෙන්නෙ පොඩි වෙලාවකට දිය මලක් පුබුදු කරන්..
තව වතුර බිංදුවක් ...තව දියමලක්......

වැස්සෙ කෙලවරකුත් නෑ...
වෙලාවත් 1 පහුවෙලා.... මොනවාහරි කමු..
නූඩ්ල්ස් තියෙනවා එක වේලකට, පාන් , බිස්කට්, ජෑම් බෝතල් බාගයක්, චීස් පෙති කීපයක්...
දැන් පාන් කාල රෑට නූඩ්ල්ස් කමු..
පාන් කෑල්ලක් අතට ගත්තම කුඩු කුඩු වගේ හැලෙනවා.. වේලිලා වගේ....
එක්ස්පයර් වෙලාද බලපන්...
මං පාන් තිබ්බ කවරෙ අරන් බැලුවා...
අහවල් ස්වීට් පාන්...
දෙනියාය..
නිෂ්පාදිත දිනය:
කල් ඉකුත් වන දිනය:
ඔව්....හිස්...එතන මුකුත් නෑ...
සුවඳෙ අවුලකුත් නෑ,,...කන්න බැරිකමකුත් නෑ... කමු බං...
පාන් රාත්තල් දෙකක් ජෑම් එක්ක කාල මදි පාඩුවට බිස්කට් කෑවා...
තාමත් වැස්ස...
වාහනෙක සද්දයක් ඇහුනට අපි හැරිලා බැලුවා...
කැලේ බලන්න ආපු කට්ටියක් වැස්සට අහුවෙලා...දවල්ට කන්න තැනක් හොයනවා...
ආපු අයත් බංගලාවෙ අයිනකට වෙලා බලන් හිටියෙ වැස්ස ඉවරවෙනකම්...
කොහොමින් කොහොමින් හරි 03 විතර වෙද්දි වැස්ස තුරල් කලා... ටවුමට ගිය මාමත් කලු පාට මල්ලකුත් උස්සන් ආවෙ සරමත් කැහිපොට ගහගෙන.. කකුල් දෙකේ උඩ ඉඳන් ම ලේ බේරෙනවා...
කුඩයක් අතේ තිබුණත් මේ වැස්සට කුඩෙන් බේරෙන්න බැරිවෙලා වගේ.. ඔලුවෙ ඉඳන්ම නාලා...
තාමත් කකුලෙ එල්ලිලා ඉන්න කූඩැල්ලො දෙතුන් දෙනෙක් ගලවලා මිදුලට විසි කලා....
කුරුල්ලො එහෙම හිටියෙයි?
මේ වැස්සත් එක්ක කළින් කූඩාරම තිබ්බ තැන අද ඉන්න බැරිවෙයි වගේ... පෝටිකෝවෙ වත් ඉන්න තිබ්බොත් හරි...
මාමා...අද අපි පෝටිකෝව පැත්තෙන් ටෙන්ට් එක ගහගත්තට අවුලක් නෑ නෙහ්? වැස්ස නිසා අමරුයි..කැමරා බඩු එහෙමත් තියෙනව නේ...
අද කවුරුත් එනවද නවතින්න?
ආ..නෑ මහත්තයා ..අද කවුරුත් නෑ... මං කාමරයක් ලෑස්ති කරලා දෙන්නම්..
ඒකත් හරි එහෙනම්.....
ලෑස්ති කරපු කාමරේ හරියටම හොස්ටල් කාමරයක් වගේ..කොහු පෑදිච්ච මෙට්ට එක්ක තට්ටු ඇඳන් 03ක්, පොඩි නාන කාමරයක් එක්ක....
අපි කාලෙකින් නාගත්තා..
මෙහෙ කලින් සූර්ය පැනල තිබ්බට දැන් වැඩ නෑ... බාගෙට බිඳුණු චිමිනියක් එක්ක තියෙන භූමිතෙල් ලාම්පුවක් තමා ගේ හරියකට තියෙන්නෙ... තව බාගෙට පත්තු වෙච්චි ඉටිපන්දම් දෙක තුනකුත් පේන්න තිබුණා...
ඉතින් අපි මෝර්නින් සයිඩ් ආව වැඩේ සාර්ථකම නෑ මේ වෙනකන්..
කවුඩා ඉන්න බව ස්ථිරයි.. ඒත් අපි ප්ලේබැක් කරද්දි සතා ළඟට එනවා වෙනුවට අපෙන් ගොඩක් ඈතට යන එකයි වෙන්නෙ...
සමහර පැති වල ඕක වෙනවා බං..උන්ගෙ කෝල්ස් අපි ළඟ තියෙන ඒවට වඩා ටිකක් වෙනස්,.... හරියටම ටෝන් එක ඕනෙ උන්ව ගෙන්න ගන්න...
ඒ අයියගෙ උත්තරේ....
හවසත් ආයෙ ළඟ පාතක හරි දැල දාලා බලමු කියලා අපි ගියා... ඉර බහිනකම් හිටියත් වෙනසක් උනේ නෑ...
වෙනත් කුරුල්ලො නම් ඕනෙතරම්...අවශ්‍ය කෙනා නෑ.....
වැස්සෙන් පස්සේ අහසෙ අලුතෙන් මෝදුවෙන කැටි වලාකුළු වලට රාස්සිගෙ අව්ව වැටිලා...එතන වෙනම ලෝකයක්... වලාකුළු අස්සෙන් යන ඉර එලිය එක එක රූප මවනවා..

අකුලන් යන් බං ...දැන් වැඩක් නෑ..
අයියගෙ ටෝන් එක ටිකක් ඩවුන්...
අපි දැල අකුලන්න ගත්තා..ඒත් වැස්සට තෙමිලා නන්නත්තාර වෙච්ච කුරුල්ලෙක් එතනම අත්තක පොඩි වෙලාවකට වැහුවා.....
ඩ්‍රොන්ගො යකෝ...
ආයේ විනාඩියෙන් දැල හුළඟේ පැද්දෙන්න ගත්තා....
අපේ හෙවනැලි අපි වගේ දෙගුණයක් දික් වෙනකම්.....
අපිව කලුවර ඡායා වෙනකම්....
ඉරේ අන්තිම එලිය පොද හැංගෙනකම් අපි බලන් හිටියා...
අන්තිමේ අපි බංගලාවට ආවෙ මානසිකව වැටිලා.. දණහිස් තුවාල වෙලා....
අපරාදේ අප්පා.... චිහ්...

අපි එනකොට මාම දොරකඩ හිටගෙන....
"මං බැලුවා කෝ කියලා"
කවුරුත් වැඩි කතාවක් නෑ.
කොහොමින් කොහොමින් හරි රෑට කන වෙලාව වෙනකන් කාලය ගෙවුනේ හරිම හෙමින්... කියන්න තරම් දෙයක් කාටවත් නෑ..
මාමත් කුස්සියට වෙලා මොනවද උයනවා...
තනියට කුරු කුරු ගාන පරණ රේඩියෝ කට්ටක්...
මේ වගේ දවස් කීයක් නම් ඒ මනුස්සයා මේ වහල යට තනියෙන් ගත කරනවා ඇතිද...
කතා කරන්න මිනිස් පුළුටක් නෑ... ලෙඩක් දුකක් හැදුනොත් කවුරුත් නෑ....
හ්ම්..මේවත් ජීවිත..
අපිත් පුලුවන් ඉක්මනට රෑට කන්න හදාගත්තා.... මේ සැරේ පේර කෝටු!
රෑ ලාවට හඳ එලියක් එක්ක තුනී මීදුමක්... ඉඳලා හිටලා එන හුලන් පාරකට ගහක් හෙලවෙන සද්දෙ ඇරුනහම වටපිටාවම නිශ්ශබ්දයි...
ගෝනෙක් කෑගැහුවොත් තමයි යන්තම් හරි ඒ පාලුව මෑකෙන්නෙ...
ටික වෙලාවකින් මාමත් අපිත් එක්ක කතාවට වැටුණා.. අවුරුදු 21ක් තිස්සේ මේ රස්සාව කරන්නේ.. ගෙවල් රත්නපුරේ...
මේ වගේ නොයෙක් දේවල් මාමගෙන් අපිට දැන්ගන්න ලැබුණා...
අපේ ගුරුවරුන්ට පවා මෙහේ ඉඳන් උපස්තාන කරපු කෙනෙක්...
----------------------------------------------------------------------
අපි හෙට යනව මාමේ...!
ඉතින් වැඩේ කෙරුනෙ නෑ නේද?
ම්ම්.. ඔව් ආයේ එන්න ඕනෙ...
ඉටිපන්දම් එලියෙන් ඇදවල් වලට ගොඩවුණාට නින්ද අපිව හොයාගෙන ආවෙ ගොඩක් රෑ වෙලා..
කාමරෙ තිබුණු පොඩි පුස් ගඳත් එක්ක පොඩි මූසල ගතියකුත් තිබුනා..
ඒත් එක්කම නාන කාමරේ කාන්දු වෙන වතුර සද්දේ කෙලවරක් නැතුවම...
කාමරේ ඇතුලට රිංගපු ගෙම්බෙක් විනාඩියෙන් විනාඩියට සද්දෙ....
මේ ඔක්කොම එක්ක නින්ද යන්න පරක්කු වෙනවා නේන්නම්...
-------------------*****************************-----------------------
පහුවදාට එළිවෙන්නත් කලින් අපි නැගිටලා....
කිලෝමීටර් 8ක් පයින් යන්නත් එපැයි...
ඉතුරුවෙලා තිබ්බ බිස්කට් එක්ක තේ උගුරක් බීලා අපි පිටත් වෙන්න සූදානම් උනා...
අපිට යන්න එපා කියන්නදෝ මන්දා අද වට පිටාව වෙනදටත් වඩා ලස්සනයි.. ඒ ගැන මෙහෙම අකුරු කරනවාට වඩා මේ විදියට පහලින් බැලුවොත් වඩා සාර්ථකයි මං හිතන්නේ..

මාමටත් සමු දීලා යන්න හරියටම පාරත් අහගෙන අපි පිටත් වුණා....
අපි මේ යන්න හදන්නෙ සූරියකන්දට..
අපි කලින් ආවෙ ඉත්තකන්ද ඉඳලා නේ...
දැන් වෙන් පාරකින් සූරියකන්දට යන්නයි ලෑස්තිය...
උදේ පිනි වැටිච්ච පඳුරු අස්සෙන පේලියට යද්දි පිනි ඔක්කොම අපේ ඇඳුම් තෙත්බරි කරනවා...
මේ විදියට ටික දුරක් ගියා.. කටු පඳුරු, ළඳු කැලෑ වලින් මිදිලා ටිකක් සරුවට කැලේ තියෙන ඉසව්වක් මේ....
පාර හිතුව තරම් ලේසි නෑ.. එක තැනක පාර වගහෙන කැලේ....
තවත් තැන්ක නාය ගිහින්..ගල් උඩින් පැනලා, පොලොව බදාගෙන යන්න ඕනෙ තැන් එක්ක දුෂ්කර පාරක්..
නෑ ඇත්තටම ඒකට අතිශය දුශ්කර කියන එක වඩාත් ගැලපෙනවා..
ඇයි මං අතිශය දුශ්කර කිව්වෙ?
එක හේතුවක් කූඩැල්ලො.. මාස ගානකින් ලේ රහ බලපු නැති උන් බලන් ඉන්නෙ පොඩි හරි අවස්තාවක් එනකම්...
මොකද මේ පාර වැඩි දෙනෙක් පාවිච්චි කරන්නෙම නෑ....
"ලංකාවේ මා දුටු එපාම කරපු කූඩැල්ලන් සිටින්නේ සූරියකන්දේ ය."
කවදා හරි සබාවක කියන්නත් මං වචන ලෑස්ති කරගත්තේ කූඩැල්ලො තලි තලි ගලවන ගමන්..
භූමිතෙල් වලටවත් මෙල්ල නොවෙන කුඩැල්ලො....
ඉතින් කඳු නැගලා බැහැලා පැය 2ක විතර වෙහෙසකර ගමනකට පස්සෙ අපි ආයෙමත් ආවා තේ වතු පටන් ගන්න ඉසව්වකට.. මෙතන ඉඳන් පහලට පාර ටිකක් හොඳයි..
පහලට බහිනවා බහිනවා... නමුත් ඉවරයක් නෑ....
තවත් පැයක් හමාරක් බැහැලා අපි වත්තෙ වැඩකරන මනුස්සයෙක්ගෙන් ඇහුවා සූරියකන්දට තව කොච්චර දුරද කියලා...
අර ෆැක්ටේරියක් පේන්නේ අන්න ඒ හරියෙ..
ඈතින් ගිනි පෙට්ටියක් විතර පේන තේ කම්හලක් අපිට පෙන්නුවෙ..
අපි එතනට යනකම් තියෙන කඳු බෑවුම් ගනන් කලා... 6යි...
මොනවා කරන්නද? මෙහෙ ඉන්න කියලයැ..
පහලට බහින අපේ ගමනෙ වෙහෙස නිව්වේ මග දිගට හමුවෙන වතුර පාරවල් වලින් පුරෝගන්න වතුර බෝතලෙයි, වටපිටාවෙ ලස්සනයි..


තවත් පැය 2කින් විතර අපි තාර පාරක් දැක්කා...දැනෙන සතුට...!
කොච්චර කොහොම කැලේ ජීවිතේට ආස වුණත් අපි තාම නාගරික ජීවිතයෙන් මිදිලා නෑ නේද?
තේ වතු මැද්දෙන් තාර පාරට බැහැලා එහෙමම පාරේ වාඩිවෙලා බූට් වල ඉන්න කූඩැල්ලො අයින් කලා... සුලැඟිල්ලක් තරම් වෙනකම් ලේ බීපු කූඩැල්ලෝ..
මෙතන ඉඳනුත් සූරියකන්දට හැතැක්මක් විතර තියෙනව ලු...
බුලත් විටකුත් කාල එහෙම අපි ලෑස්ති වුනේ පයින්ම යන්න කියලා... දලු බාලා ආපහු එන ලොරි පොඩ්ඩක් ආවේ ඒ වෙලාවේ...
අය්යෙ සූරියකන්දට යන්න පුලුවන්ද ?
නගින්න...

විනාඩි 10 ගමනකින් අපි සූරියකන්දේ...මෙතන ඉඳන් ඇඹිලිපිටියට යන්න ඕනෙ..එතනින් කෙලින්ම කොළඹ බස් එකක් ගන්න පුලුවන්..
සූරියකන්ද ගැන කියනවා නම් තාම බොහොම නොදියුනුයි කියලා කියන්න පුලුවන්....ඒත් දියුනු නැත්තෙමත් නෑ..
බහුතරයක් දෙමළ මිනිස්සු. ගෙවල් එහෙමත් වැඩිය ලොකු නෑ.. ප්‍රවාහනය වුණත් ටිකක් දුෂ්කරයි..
අපිටත් ඇඹිලිපිටියට යන්න බස් එකක් එන්නේ 1.15ට... දැන් 12යි ගානක්...බඩු ටිකත් අයිනකට අරගෙන කඩයක් ළඟ බිම වාඩිවෙලා හිටියා බස් එක එනකම්..ෆෝන් එකට සිග්නලුත් නෑ...
රතු පාට CTB එකක් ඇවිත් නැවැත්තුවා...
අපි ඇඹිලිපිටි යන්න පිටත් වුණා...
සූරියකන්දෙ ඉඳන් ඇඹිලිපිටියට යන පාර හරිම පටුයි...සමහර තැන් වල පාර හදනවා.... බස් දෙකක් මාරුවෙන්න පුලුවන් තැන් තියෙන්නේ බොහොම අඩුවෙන්... සමහර වෙලාවට වාහන මූනට මූන හමුවෙනවා..ඒ වෙලේට එක වාහනයක් පස්සෙන් පස්සට යන්න ඕනේ වාහන දෙකට මාරුවෙන්න ඉඩක් එනකම්... අනිත් එක වංගු.....
කොහොම උනත් වාඩී වෙලා බලන් යන අපිට ගමන සුන්දරයි..
ටිකෙන් ටික ගැමි බවින් මිදිලා අපි නගරබද සීමාවකට ළංවුණා..
හ්ම්... ඇඹිලිපිටියට ළඟයි..
2.30ට විතර අපි ඇඹිලිපිටියේ...
අද 26 වෙනිදා...අපි කොළඹින් ආවේ 20...
කැලේ ගතකරපු සුන්දරම දවස් කීපයක්... ජීවිතේටම මතක හිටින ගමනක්...
අලුත් අත්දැකීම්...අලුත් මිනිස්සු....
ඉතින් කොළඹට යන බස් එක තව පොඩ්ඩකින් පිටත් වෙනවා...
දවල්ට කෑමත් කාලා අපි බස් එකට නැගලා හරිබරි ගැහුණේ තවත් පැය 5ක විතර ගමනකට....
ඒ කොළඹට...

ඉතින් බොහොම ස්තුතියි මේක කියවන ඔබට.. අදහස් උදහස් එහෙම තියෙනවා නම් කියන්න...
දැනට නවතින්නම්..අලුත් චාරිකාවක් එක්ක හමුවෙන්නම් අත්දැකීම බෙදාගන්න..
ජය!



Sorry for being late to comment. Indeed a nice documentary with nice photos and an attractive style of writing. 'Athishaya dushkara!' I like that 😉