top of page
Search

අමතක නොවෙන ගිරිහෙල් අරඹ - Great Western

  • Writer: Raksh
    Raksh
  • Jul 13, 2018
  • 5 min read

Updated: Sep 26, 2019

මිනිස්සු එදා ඉදන්ම උත්සාහ කලේ බැරි වැඩ කරන්න.. එහෙම නැත්නම් අමාරු වැඩ කරන්න... ගහක උඩම අත්තෙ තියෙන ගෙඩියක් කඩාගන්න.. තවත් එහාට ගියොත් කවදාවත් අහලා දැකලා තිබුණේ නැති රටවල් හොයාගෙන යන්න.. කොටින්ම කියනවා නම් රෑට අහසට වෙලා තරු පිරිවරාගෙන ඉන්න හඳට යන්න හීන දැක්කෙත් මිනිස්සු.. හැබැයි මිනිස්සු කොහොමහරි ඒ අමාරු වැඩ කරගත්තා..


කන්දක් නගිනවා කියන්නෙත් ඒ තරම් බරපතල වැඩක් නොවුණත්, ඒකත් එක්තරා අමාරු වැඩක් කිව්වොත් මං හරි..


කඳු නැගිල්ල දැන් දැන් උණක් වෙලා... අපිට ඔය උණ හැදුණෙ කැම්පස් ඇවිත් මාස 06ක් විතර යද්දි.. ඒ උණට පළවෙනි බෙහෙත් මුරය තමයි Great Western. ඒ කියන්නේ ලංකාවේ 06 වෙනියට උසම කන්ද..


නුවර එළිය දිස්ත්‍රික්කයේ මායිමට වෙන්න මුහුදු මට්ටමේ ඉඳලා මීටර 2,212 ක් උසින් එහෙම නැත්නම් අඩි වලින් ගත්තොත් අඩි 7,257ක උසකින් පිහිටලා තියෙන මේ කන්ද සාමාන්‍ය සමාජයේ ගොඩක්ම ජනප්‍රිය නැති වුණත් කඳු නගින්නන් අතරේ නම් බොහොම ජනප්‍රියයි..


ඔබත් සංචාරකයෙක් නම් එහෙම නැතිනම් ට්‍රැවලින් පිස්සෙක් නම් මේ කන්ද ගැන අහලා ඇති..ඒ නැතත් මේ කන්ද හොයාගන්න ලොකු අමාරුවක් නෑ.. බදුල්ල දුම්රිය මාර්ගයේ ග්‍රේට් වෙස්ටර්න් නැවතුමට හරියටම පිටුපසින් තමයි මේ කන්ද පිහිටලා තියෙන්නේ..



2016 අවුරුද්දෙ ජූලි මාසේ 07 වෙනිදා තමයි අපේ දවස.. කැම්පස් එකේ පළවෙනි සෙමෙස්ටර් එග්සෑම් එකේ අන්තිම දවස.. අන්තිම පේපර් එක ලිව්වෙත් හොඳ සිහියෙන් නෙවෙයි.. ඔළුව තිබ්බේ කන්ද උඩ..

කොහොමින් කොහොමින් හරි පේපරේ කුරුටු ගාලා බාරදීලා කැම්පස් එකෙන් සෙට් වුණු කොල්ලො සෙට් එකත් එක්ක රෑ 08.00 වෙද්දි කොළඹ කොටුව ස්ටේෂන් එකට එකතු වුණා..


කොටුවෙන් රෑ 08.00ට පිටත් වෙන තැපැල් දුම් රිය බදුල්ලට යද්දි පහුවෙනිදා උදේ 07 විතර වෙනවා.. උදේ 03.00ට වගේ වෙද්දි ග්‍රේට් වෙස්ටර්න් වලට යන්න පුළුවන් කියලයි ටිකට් කවුන්ටරෙන් කිව්වේ..

කෝච්චිය කොටුවෙන් පිටත් වෙද්දි 08.15 විතර වෙලා.. වෙලාවකට සිංදු කිය කියා, හිටපු ගමන් ෆුට් බෝර්ඩ් එකේ, සමහර වෙලාවට නිදි කිර කිර බිංගෙවල් යටින් යන ගමන වෙලාවකට කම්මැලි වුණත් ඒ කම්මැලිකම මගහරින්න හීන්සීරුවේ සීතලක් එන්න ගත්තේ පේරාදෙනිය දුම්රිය පොළ පහුවෙනවත් එක්ක..


ටිකෙන් ටික හැටන් වලට කිට්ටු වෙනකොට ටික ටික සීතල වැඩි.. හැම පෙට්ටියක් ගානෙම යන වඩේ, කෝපි වලින් සප්පායම් වෙලා යන ගමනට අතරමගදි කොළඹ ඉඳන් ගමට යන මුස්ලිම් මිත්‍රයෙකුත් එකතුවුණා... ගමනේ වැඩි විස්තරයක් අහගත්තේ එයාගෙන්..නමින් කියනවා නම් රිෆාස්..


කොහොමින් කොහොමින් හරි අපි තලවාකැලේ ස්ටේෂමට එද්දි උදේ පාන්දර 03 ට කිට්ටුයි.. ඈත කඳුවල තැන් තැන් වල කනාමැදිරියො වහලා වගේ ගෙවල් වල තේ ෆැක්ටරි වල විදුලි එළි..


තලවාකැලේ පහු කරන් ටිකක් දුර යද්දි පාරෙ වම් පැත්තෙන් පේනවා ලොකු වේල්ලක්... කහ පාට විදුලි එළියට වතුරත් කහ දියර වගේ වේල්ලෙන් පහළට කඩා හැලෙනවා රෑකට උනත් හරි ලස්සනට පේනවා.. මේ ඉහළ කොත්මලේ ජලාශය..


වටගොඩ ස්ටේෂමත් පහුවුනා..


මචාන්... එස්සරහ ස්ටේෂන් එක තමා ග්‍රේට් වෙස්ටර්න්..

අපේ මුස්ලිම් මිතුරා කිව්වා..

අපි හනි හනික බෑග් කරේ දාගත්තා.. අපේ මිත්‍රයාටත් ස්තූති කරලා අපි දුම්රියෙන් බැහැගත්තා..


ree
බදුල්ලට ලියුම් අරන් යන ගමන්..

03.30 යි.

ග්‍රේට් වෙස්ටර්න්

පොඩි ස්ටේෂමක්.... කෝච්චියත් හූ කියාගෙන අපිව දාල ගියා..

වටේටම කළුවරයි...කළුවර මකන්න තිබ්බේ ස්ටේෂන් එකේ පත්තුවුණු ටියුබ් ලයිට් දෙකක් එක්ක ඈතින් පේන රතුපාට සිග්නල් ලයිට්..

අපි දුම් රිය වේදිකාවෙ අපේ ගමන් මළු තියලා හනි හනිකට තවත් ඇඳුමක් උඩින් දාගත්තේ වීරයො වගේ කොළඹ ඉඳන් එද්දි කොට කලිසම් ඇඳන් ආවට දැන් සීතල ටිකක් වැඩි නිසා..

මෙතන පිටිපස්සෙ තමයි අපිට නගින්න තියෙන කන්ද.. අපේ ලඟ තිබුණු ටෝච් එළිය කරලා බැලුවත් කන්දක් පේන්නේ නෑ... මීටර් 20 ක් වත් දුර පේන්නේ නැති තරමට මීදුමක්...

උදේටම බලමු... දැන් ඉතින් එළිය වැටෙනකම් මෙතන ඉමු..

මෙතන කිව්වෙ ප්ලැට්ෆෝම් එකේද?



නෑ නෑ... අපිට අමුත්තන්ගේ කාමරේ ඉන්න දෙන්න තරම් ස්ටේෂන් මාස්ටර් කරුණික උනා...


ree
අපි!

අපි ඔක්කොම 13යි..කාමරේ හැමෝටම ඉඩ මදි...ටික දෙනෙක්ට කාමරේ ඉන්න කියලා අපි එළියට ආවා. ස්ටේෂමේ බංකු දෙක වුණත් මේ වෙලේට සැප ඇඳක්..


ටිකක් වෙලා බංකුවට වෙලා හිටියට නින්ද අහලකවත් නෑ.. සමහරු නම් ගොරවනවත් ඇහෙනවා..


අපි 3 දෙනෙක් රේල් පාර පැනලා එහා පැත්තේ ප්ලැට්ෆොර්ම් එකට පැනගත්තා..නැගෙනහිර අහස ලාවට නිල් පාටක් ගාගෙන අලුත් දවසකට ලෑස්ති වෙනවා. ඉඳලා හිටලා එන හුළඟ රේල්පාර් වංගුවක් ගහලා හැංගෙන ගස් ගොන්න අතරින් ඇදීගෙන යන්නෙ පොඩි සද්දෙකුත් එක්ක..


ආයෙමත් කෝච්චියක් එන්නේ 7.40ට ලු..එතකන් මුකුත් නෑ.. අපි රේල් පාරට කකුල් දෙක දාගෙන ප්ලැට්ෆෝම් එකේ ඇලවුණා.. පිණි වැටිලා ටිකක් තෙතට තිබ්බත් මේ වෙලේ ගානක් නෑ..


මීදුම එහා මෙහා වෙනකොට තරු එක දෙක මලානික එළි විදියට එළියට එබෙනවා.. එකපාරටම කොහේදෝ ඉඳන් එන හුළඟත් එක්ක එන පිණි කෙලින්ම වෑටෙන්නේ ප්ලැට්ෆෝම් එක උඩ මොක්කුද වගේ උඩ බලන් ඉන්න අපේ මූණු උඩට.. පිණි වල හීතල ඇඟ දිගේ ගිහින් සපත්තු වලින් වැහුණු අපේ කකුල් අස්සෙ හැංගෙනවා..


අහස පුරාම එළිය කරගෙන විදුලි එලි ඉරි අඳින්න ගත්තේ දැන් ටිකක් වෙලා ඉඳලා..වැස්සොත් ඉතින් අපි ගිහින් ඉවරයි..

ටිකවෙලාවක් යද්දි පිනි බිංදු ටික ටික ලොකු වෙන්න ගත්තා.. එකපාරටම පනිට්ටුවක් විතර වතුර ටිකක් මූණේ...


හම්මට.. වහිනවා කියහන්කෝ....


බංකුවක ඉඳපු එකෙක් ඇහැරිලා කියනවා..


හා හා පුරා කියල කන්දක් නගින්න ආවාම මෙන්න හෝදගෙන යන්න වහිනවා..

නිදාගෙන හිටපු ඔක්කොම නැගිටලා ඇවිත් වැස්සට බනිනවා..

නෑ පුතා... ඕක වැඩිවෙලා තියෙන්නෙ නෑ.. මෙහෙට හැමදාම වගේ ඔහොමයි.. ස්ටේෂන් මාස්ටර් ඇවිත් කියනවා..

කිව්වා වගේම 7 විතර වෙද්දි වැස්ස තුරල් කලා... මීදුමත් හරි කුසීත විදියට ඈතට පාවෙලා යද්දි වැස්ස පායනකල් වලාකුලු අස්සට වෙලා ඉඳපු ඉර එළිය අපිට ඉස්සරහින් එක යායට තියෙන විල්ලුව පුරාම රටා ඇන්දා..   රේල් පීලි වලින්ම හදපු වැටවල් දිගේ මුතු ඇට වගේ පේලියට එල්ලිලා ඉන්න වැහි බිංදු වලට ඉර එළිය වැටිලා.. ඒක වෙනම ලෝකයක්..


මීදුම අඩුවෙලා හින්දා දැන් කන්ද පේනවත් ඇති..


හැමෝම ගියේ මේ නොදැකපු කන්ද බලන්න...


හුහ්... යකෝ!!


අපිට පේන මානෙම වහගෙන එකම කඳු යායක් අහස උසට... කන්දක මුදුනක් හොයන්න බෑ..තාමත් උඩ මීදුම හොඳටම..

කිව්වත් වගේම ග්‍රේට් වෙස්ටර්න්!


  • GET A LOCAL GUIDE (It’s a must)

  • THIS IS A STRENUOUS HIKE, with no clear foot path, try not to take small children.

  • Some sharp knives, ropes and hiking sticks will be useful

  • Wear attire as to cover your hands and legs to avoid torn scratches

  • No tickets needed

  • It’s better if you can carry a stock of water (1L per person) and food like biscuits and etc.

  • Start the climb as early as you can to minimize the risk of  Leopards


මෙහෙම තමයි ලක්දසුන් එකේ තියෙන්නේ... GET A LOCAL GUIDE (It’s a must)


ඉතින් අපිත් බැලුවේ මග පෙන්වන්න කවුරුහරි හොයාගන්න.. ස්ටේෂමේ වැඩ කරන අය ගොඩක් මහන්සි වුනත් ගමේ කවුරුත් හිටියේ නෑ අපිත් එක්ක යන්න...


ree
සුන්දර ග්‍රේට් වෙස්ටර්න්

දැන් ඉතින් ආපහු යන්න බෑ නේ.. අපි කොහොමහරි යමු කියලා රේල් පාරට බැස්ස.. මේ රේල් පාර දිගේම යන්න මල්ලි... එතකොට වම් පැත්තෙ කෝවිලක් හම්බෙයි...එතනින් උඩට තමා යන්න තියෙන්නේ... ස්ටේෂමේ කවුරුහරි කිව්වා..


ree

කෝවිල ළඟට එද්දිම ආයේ වැස්සක්... ඈතින් තිබුන ලී මඩුවකට වෙලා ටිකක වෙල හිටියේ වැස්ස පායනකම්..මෙහෙම පැය බාගයක් විතර කල් මරන්න ඇති...


මේක පායන්නෙ නෑ බං... ඔන්න ඔහෙ යන්..


කට්ටියම එකපයින් කැමති.


තෙමන බඩු ඔක්කොම බෑග් වල.. මෙතන ඉඳන් කන්ද මුදුනට යනකන්ම ෆොටෝ නැත්තෙ ඒකයි..


ඉතින් හා හා පුරා කියලා කෝවිලට යන අඩිපාරේ ගියා.. ඒක පඩි කපලා හදලා තිබුණත් එක පඩියක් අඩි එක හමාරක් විතර උසයි... ලොකු දුරක් නොතිබ්බත් කෝවිල් මිදුලට එද්දි හොඳ ගනන්..


එතන පොඩ්ඩක් නැවතුනා..


මිනිස්සු කාලෙකට වතාවක් එන තැනක් වගේ පෙනුමෙ හැටියට නම්..තාමත් හිරිපොද තිබ්බත් අපි කන්ද නගින්න පටන් ගත්තා...ඇත්තටම තාම කන්දට ඇතුල් වෙලා නෑ... කෝවිලට උඩින් දිය පාරක් ගලාගෙන එනවා.. අපි තීරණය කලේ ඒ දිය පාර අයිනෙන් උඩට යන්න.. තියපු පළවෙනි අඩියම වළලුකරට යනකන් මඩේ...


මඩවලවල් මග ඇර ඇර පටන් ගත්ත ගමන එන්න එන්නම අමාරු උනේ උඩට යන්න තියෙනවා කිව්ව අඩිපාර හැමතැනම නැති නිසා..කාලෙකින් කවුරුත් ගිහින් නැති නිසා බොහොම යන්තමට තියෙන අඩිපාරත් ගස්වැල් ආක්‍රමණය කරලා..මේ විදියට පාර හොයාගෙන පැය බාගයක් විතර උඩට නගිද්දි ෆයිනස් ගස් වල උඩම වියනට උඩින් හරි ආඩම්බරෙන් ඉන්න කඳු පන්තිය පේන්න ගන්නවා..


මෙතැන ඉඳන් තමා කන්ද පටන් ගන්නේ හරියටම... ලොකු ගස් අඩුවෙලා වැඩිය උසක් නැති ගස් එක්ක ළඳු කැලෑවක් මැද්දෙන් තමා දැන් ගමන..


යාන්තමට පාර තිබුණත් අතු ඉති වලින් පාර වැහිලා.. ඒ නිසා පිහියක් එක්ක ටිකක් පුරුදු කාරයෙක් ඉස්සරහිනුත්.. කඳ බඩ මහත අය ඊට පස්සෙත් , පතෝල වගේ ඕනේ දේකට හා කියන උඹ මං වගේ උන් ඒ පිටිපස්සෙනුත් අන්තිමටම යකඩ උස්සලා ඇඟ තලාගත්තු අයයි විදියට තමා දැන් උඩට නගින්නෙ...


වැස්ස නිසා යන පාරේ මැටි වගේ තියෙන පස පෙඟිලා ලිස්සනවා.. සමහර තැන් වල පාර හරහට ගල් වැටියක් වගේ හැදිලා..


පේන තෙක් මානෙම කන්ද... පොඩ්ඩක් නැවතිලා ආපු පැත්ත බැලුවම පේනවා පහල විල්ලුවත් එක්ක තියෙන ගම්මානෙ.. පේන තෙක් දුරට ඇස් රිදෙනකන් බලන්න පුලුවන් කොලපාට මිටියාවත..


ree
ආපහු හැරිලා බැලුවම

උදේ ඉඳන් මුකුත් බඩට නැති නිසා මොනවා හරි කන්න තැනිතලා තැනක් හොයාගන්න එක තමයි දැන් හැමෝගෙම අරමුණ... මේ කන්දේ කොහෙද බන් තැන්නක්..


නෑ නෑ අර ඉස්සරහ පේනවා පොඩි තැන්නක් වගේ..


ඒ අපේ නඩේ ගුරා..


ඉතින් තැන්නක් හම්බෙනකම් කන්ද නගිනවා...


කෝ යකෝ තැන්න...


තැන්නක් නෑ..


මෙන්න මෙතන ඉඳන් කන දෙයක් කමු... පොඩි ගල් පේළියක් තියෙන තැනක පුලුවන් විදියට හරිබරි ගැහුනා..


මොනවද දැන් කන්න තියෙන්නෙ..


"එක්කෙනෙක්ට කස්ටර්ඩ් ක්‍රීම් බිස්කට් දෙකයි.. චොක්ලට් එකයි. මයිලෝ එකයි."


ඒත් අපේ නඩේ ගුරා..


ඔක්කොම organizing වැඩ එකෙක්ට දීපු ගොන්කම කියලා හම්බුණු දේ කාලා ඉතුරු හරිය වතුර වලින් පුරවගෙන ආයේ නගින්න පටන් ගත්තා..


එකපාරටම සේර කැළයක්.... යායක් පුරාවට එකම සේර ගස් ගොන්නක්..


මේ කන්දේ දිවියො වාසය කරනව කියල අහලා තිබ්බ නිසා දැන් හැමෝම ඉන්නෙ දිවියෙක් කොයි වෙලේ හරි ඉස්සරහින් මතුවෙයි කියලා..



දෙවෙනි කොටස මෙතනින්..


 
 
 

Comments


Join our mailing list

  • Black Facebook Icon
  • Black Instagram Icon

© 2019 the Wanderer by Lahiru Rajapaksha_NR Creative Studio

bottom of page